ට්විටර් සේවකයින්ටත් රැකියා අවදානමක්-මාස 3ට වැටුප් ගෙවා ඉවත් කරන්න සැලසුම්

ට්විටර් සේවකයින්ටත් රැකියා අවදානමක්-මාස 3ට වැටුප් ගෙවා ඉවත් කරන්න සැලසුම්
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව එහි සේවකයින්ට දැනුම්දී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
 
කෙසේ වෙතත්, සේවකයින්ට දැනුම්දී ඇත්තේ ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බවයි.
 
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
 
මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයින් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවා තිබේ.
 
ඉන් ඔහු දන්වා ඇත්තේ ට්විටර් සේවකයින් “දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතු බවත්, එසේ  නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.”
 
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බව මස්ක් සේවකයින්ට දන්වා ඇති බවයි.
 
එම ප්‍රතිඥාවට අද (17) වනවිට සිය එකඟතාවය පළ නොකරන සේවකයින් ව මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් විය හැකි බව මස්ක් වැඩිදුරටත් දන්වා තිබේ.