වෘත්තීය අධ්‍යාපනය සඳහා කොරියානු සහාය

වෘත්තීය අධ්‍යාපනය සඳහා කොරියානු සහාය

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා වන යූ ඉයුන්-හයි මැතිතුමා  සමඟ සෝල් නුවර දී සාකච්ඡා පැවැත්වූ බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ, දෙරට අතර පවත්නා පුළුල් ආර්ථික සහයෝගීතාව පිළිබඳව සඳහන් කළ අතර, විශේෂයෙන්ම කොයිකා (KOICA) සහ කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුව විසින් මෙහෙයවනු ලබන විදේශ සංවර්ධන ආධාර පිළිබඳව අවධාරණය කළේ ය. මෙම වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රතිලාභ පිළිබඳව ද අමාත්‍ය පීරිස් මැතිතුමා සිය ප්‍රසාදය පළ කළේ ය.

දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 22,000ක පිරිස පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ කොරියානු භාෂා ප්‍රවීණතාවය ඉලක්ක කරගත් ඉගෙනුම් පාඨමාලාවල ඇති ජනප්‍රියත්වය පිළිබඳව සඳහන් කළේ ය. 2023 වර්ෂයේ  පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා කොරියානු භාෂාව විෂයයක් ලෙස සම්මත වී ඇති බවද එතුමා ප්‍රකාශ කළේ ය.

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්-හයි මැතිතුමා,  ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ මුලපිරීම් සඳහා පුළුල් සහයක් ලබා දීම සම්බන්ධයෙන් කොරියානු ජනරජය සැලකිලිමත් වන බව සඳහන් කළේ ය.