ජීවිතය පරදුවට තබා පැන ගිය සංක්‍රමණිකයෙක්

ජීවිතය පරදුවට තබා පැන ගිය සංක්‍රමණිකයෙක්
දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය දක්වා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු ගැන අත්අඩංගුවට ගැනීමේ පුවතක් විදේස් පුවත් සේවා අනාවරණය කරයි.
 
යානය, භාණ්ඩ පටවා ගනිමින් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණ ඇති අතර ඒ සඳහා ගත වී ඇති කාලය පැය 11 කි.
 
අතරමඟදී යානය කෙන්යාවේ නයිරෝබි නුවරට ගොඩබා ඇත්තේ ද භාණ්ඩ බෑම සහ පටවා ගැනීම සදහාය.
 
පැය 11 ක් වැනි දිගු කාලයක් ගුවන් යානයක රෝදය සහිත කොටසේ කෙනෙකුට යෑම ඉතාමත් අසීරු වන අතර එය මරු කැඳවන්නකි.
 
ගුවන් යානය ඉහළින් පියාසර කරද්දී ඇතිවන දැඩි සීතල සහ ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් මාරාන්තික තත්ත්වයක් උද්ගතවීම අහම්බයක් නොවේ.
 
මෙම පුද්ගලයාගේ අනන්‍යතාව, වයස හෝ ඔහු කුමන රටක වැසියකු ද යන්න හෝ මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නැත.
 

නෙදර්ලන්ත පොලිසිය ඇම්ස්ටර්ඩෑම් ෂිපෝල් ගුවන් තොටුපොළේ දී එම තැනැත්තා අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයට පත් කළ බව පැවසෙයි.