කුවේටයේ නේවාසික ප්‍රදේශවල ඇති වෙළෙඳසැල් වසා දමන ලෙස නියෝගයක්

කුවේටයේ නේවාසික ප්‍රදේශවල ඇති වෙළෙඳසැල් වසා දමන ලෙස නියෝගයක්
නේවාසික ප්‍රදේශවල ඇති වෙළෙඳසැල් වසා දමන ලෙස කුවේට් රාජ්‍ය බලධාරීන් විසින් නියෝග නිකුත්කර තිබෙන බව වාර්තා වේ.
 
එම නියෝගයට අනුව කුවේටයේ නේවාසික ප්‍රදේශවල පිහිටි සියලුම වෙළෙඳසැල් මධ්‍යම රාත්‍රිය වන විට අනිවාර්යෙන් වසා දමන ලෙස නිවේදනයට කර ඇති අතර එහිදී නේවාසික මහල් නිවාස, සමුපකාර සමිති, පොදු ප්‍රවාහන නැවතුම් සහ වාණිජ කටයුතු සිදුකරන නේවාසික ප්‍රදේශවල සියලුම ස්ථාන, වෙළඳසැල්, විශේෂයෙන් අවන්හල් සහ කෝපිහල් මධ්‍යම රාත්‍රිය වන විට වසා දැමිය යුතු බව නියෝගයේ සඳහන් වේ.
 
මහජන යහපත,නිශ්ශබ්දතාවයකින් යුතු පරිසරයක් සහතික කිරීම,ආරක්ෂාව සහ තරුණ තරුණියන්ට විය හැකි අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණය කුවේට් බලධාරීන් විසින් ගෙන තිබෙන බවයි විදෙස් පුවත් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
 
ඔසුසැල් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳාම් කරන වෙළෙඳසැල් වලට මෙම නියෝගය අදාල නොවෙන අතර අනෙකුත් සියලුම වෙළෙඳසැල් අනිවාර්යෙන් මෙම නියෝග පිළිපැඳිය යුතු බවත් නිවේදනයේ සඳහන්.