විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉතිහාසයේ නොලැබුණ ප්‍රතිලාභ රැසක්! මෙන්න සම්පූර්ණ විස්තර

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉතිහාසයේ නොලැබුණ ප්‍රතිලාභ රැසක්! මෙන්න සම්පූර්ණ විස්තර
නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවන විගමනික ශ්‍රමිකයන්ට එවන ඩොලර් ප්‍රමාණය අනුව රෝද දෙකේ හෝ රෝද හතරකින් යුත් විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
 
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් සහ ඇමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට ඔවුන්ට පහසුකම් සැපයෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 
එහිදී 2023 අප්‍රේල් 30 දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන දින දක්වා ප්‍රේෂණය කරන විදේශ විනිමය ආදායමින් සියයට 50ක් දක්වා වන සී.අයි.එෆ් වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් හෝ 2022 මැයි 1 වැනිදා සිට 2023 දෙසරම්බර් 31 දින දක්වා මෙරටට ප්‍රේෂණය කරන විදේශ විනිමය වටිනාකමින් සියයට 50ක් දක්වා වන සී.අයි.එෆ් වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට අවසර දෙන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
 
විගමනික ශ්‍රමිකයන් එතෙරදී උපයන විදේශ විනිමට ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමිවූ බවත්, ඒ සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඒ සඳහා අදාළ චක්‍රලේඛ හා උපදෙස් නිකුත් කර ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.