ඕමානයේ පීඩාවට පත් වැඩිදෙනා සංචාරක වීසා මගින් ගිය අයයි!

ඕමානයේ  පීඩාවට පත් වැඩිදෙනා සංචාරක වීසා මගින් ගිය අයයි!
සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඬතෙට්ටම් සහ පීඩාවන්ට ලක්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
 
ශ්‍රී ලංකාවේ සිට පැමිණි ගෘහ සේවිකාවන්ගෙන් ලැබෙන දිනපතා පැමිණිලි සංඛ්‍යාව වැඩි වී ඇතැයි ඕමානයේ මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
 
එසේ ලැබෙන පැමිණිලිවලින් වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ සංචාරක වීසා මත රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවගෙන් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
 
එසේ සංචාරක වීසා මත ඕමානයට ගොස් සිටින බොහෝ දෙනා  ජාවාරම්කරුවන් සහ වංචනිකයන් මාර්ගයෙන් ලියාපදිංචි නොකර ඕමානයට ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.
 
පීඩාවන්ට සහ අඬතෙට්ටම් වලට ලක්ව දැනට ඕමානයේ සිරවී සිටින කාන්තාවන් 90 දෙනකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට මුදල් නොමැති වීම හේතුවෙන් මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සහාය ඉල්ලා ඇති බවත්, දැනට ඔවුන් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය වියදම් දරා ආරක්‍ෂිත ස්ථානයක නවතා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.
 
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම කාන්තාවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ සුභසාධන පහසුකම් සපයා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියි.