විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සමෘද්ධිය තරුණයන්ට ජපන් භාෂා පුහුණු පාඨමාලාවක් අරඹයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සමෘද්ධිය තරුණයන්ට ජපන් භාෂා පුහුණු පාඨමාලාවක් අරඹයි

ශ්‍රීලංකා විදේශ සේවනියුක්ති කාර්යාංශය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව  හා ඒකාබද්ධව  සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් හට ජපන් භාෂා පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම  පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් තබන ලදී.

ජපානයේ සාත්තු සේවා, ආහාර පිළිගැන්වීම හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා රැසක් ඉදිරියේදී ශ්‍රි ලංකාවට ලැබීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය, 5000 ක කණ්ඩායමකින් සමන්විත පුහුණු ශ්‍රමික සංචිතයක් ස්ථාපිත කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්හට උපදෙස් ලබාදි ඇති අතර ඒ අනුව මෙම ගිවිසුම අත්සන් තබන ලදී.  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී.තිලකසිරි මහතා මෙම ගිවිසුම සඳහා අත්සන් තබන ලද අතර මේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ,විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරු සහභාගිවුහ.

සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 17-25 අතර දරුවන් ඉලක්ක කරගනිමින් මෙම පාඨමාලා සඳහා බඳවාගැනීම් සිදුකරනු ලබන අතර, එලෙස තෝරා ගැනීමේදී  ගණිතය පිලිබඳ සාමාන්‍ය දැනුම හා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීම පිලිබඳ කරුණු සලකා බැලේ. මෙහිදී සමුර්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කරනු ලබන්නේ පුහුණු කිරීම පමණක් වන අතර,විදේශ ගතකිරීම කරනු ලබන්නේ  ලැබෙන රැකියා ඇනවුම් අනුව ශ්‍රීලංකා විදේශ සේවනියුක්ති කාර්යාංශයේ පුර්ණ මැදිහත්වීම මත වේ.

පාඨමාලා කාලය මාස 6ක් වන අතර, පාඨමාලා ගාස්තුව රු.24000.00 කි. එය මසකට රු.4000.00  බැගින් මාස 6ක් ඇතුළත ගෙවීමට අවස්ථාව හිමි වේ. මෙහිදී ජපන් භාෂා ප්‍රවීණතාවය NAT 4 මට්ටම හා NAT 5 මට්ටම ලබාදීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා පුහුණු උපදේශක ගාස්තු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගෙවනු ලබයි. මෙම ගිවිසුම අනුව දිවයින පුරා ඇති සමෘද්ධි ප්‍රජාමූල බැංකු, සමිති හා වෙනත් අවශ්‍ය ඉඩ පහසුකම් සහිත ස්ථානවල පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මේ අයුරින් ඉදිරියේදී තවත් වෘත්තිය පුහුණු ආයතන සමග ගිවිසුම් ගතවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු  වන අතර  ඒ සඳහා දැනටමත් වෘතිය පුහුණු ආයතන රැසකින් ව්දේශ සේවා නියුක්ති කාර්යංශයට ඉල්ලීම් ලැබී ඇත.