ඉරාන යුද්ධය හමුවේ රට විරුවන්ගේ ඉරණම සහ බලධාරීන්ගේ “සීත කාමර” පිළිවෙතින් ඔබ්බට
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව පෙබරවාරි 28 වැනිදා ඉරානයේ ටෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් දැවැන්ත හමුදා ප්‍රහාරයක් දියත් කළ අතර, එහි මූලික අරමුණ ඉරාන පාලන තන්ත්‍රය පෙරළා දැමීම බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කුමේනි මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර ඇති අතර, මේ වන විට අලි රේසා අරෆිගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන පාලක මණ්ඩලයක් පත් කර තිබේ.
මෙයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට සහ කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මේ හේතුවෙන් මැදපෙරදිග රටවල් රැසක ගුවන් සීමාවන් වසා දැමීම නිසා ලොව පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වී ඇත. ටෙල් අවිව් සහ ඩුබායි වැනි නගරවලට එල්ල වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත. මෙම ජන ඝාතක යුධ වාතාවරණය හමුවේ ඊශ්‍රායලය සහ මැද පෙරදිග රට වල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුව ඇත. එසේම මෙම ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වග කිවයුතු ආයතන වල ක්‍රියාකලාපය පිළිබඳව ද මේ මොහොතේ ජනතාවගේ අවධානය යොමු වී ඇත.
මැදපෙරදිග කලාපයේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් මිලියනයකට අධික පිරිසක් සේවය කරන අතර, 29,000කට වැඩි පිරිසක් ඊශ්‍රායලයේ (විශේෂයෙන් ඉදිකිරීම් සහ සාත්තු සේවා ක්ෂේත්‍රවල) සේවය කරති.
ශ්‍රී ලංකා මහා බැංකුව මගින් වර්ෂයේ කාර්තු 4ට අදාලව ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ශ්‍රමිකයන් විසින් මෙරටට එවන විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් කාර්තුවන් කාර්තුවට වාර්තාවක් ඉදිරිපත් කරයි. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණයෙහි කාර්තුමය විවරණිකාව (Quarterly Bulletin of Workers’ Remittances and Labour Migration) නම් මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවට කාර්තු 4හි විදේශ ප්‍රේෂණ ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් චිත්‍රයක් පෙන්වනු ලබයි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, 2025 වර්ෂය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇති අතර, එහිදී සමස්ත ප්‍රේෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 8,076.2ක් (ඩොලර් බිලියන 8.07ක් පමණ) දක්වා වර්ධනය වී තිබේ. මෙය 2024 වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 5.96ක ආදායමට සාපේක්ෂව 35%කට අධික සැලකිය යුතු වර්ධනයක් වන අතර, රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමටත් රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමටත් මෙය මූලිකවම දායක වී ඇත.
මෙම ඉහළ යාමට ප්‍රධානතම හේතුව වූයේ විධිමත් බැංකු පද්ධතිය හරහා මුදල් එවීම සඳහා රජය සහ මහා බැංකුව හඳුන්වා දුන් දිරිගැන්වීමේ ක්‍රමවේද සහ 2025 වසර තුළ පමණක් පුද්ගලයන් 310,915කට අධික පිරිසක් අලුතින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමයි. මෙලෙස ලැබුණු ප්‍රේෂණවලින් වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍ය සහ සෞදි අරාබිය වැනි රටවලිනි. ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ප්‍රේෂණ ආදායමෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් අඛණ්ඩව ලැබෙන්නේ මැදපෙරදිග කලාපයෙන් වන අතර, 2025 වසරේ මූල්‍ය දත්ත වාර්තාවලට අනුව, මෙරට විදේශ ප්‍රේෂණ ආදායමට වැඩිම දායකත්වයක් ලබාදුන් රටවල් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ කුවේට් රාජ්‍යය ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත. වසරේ වැඩිම කාලසීමාවක් පුරා අඛණ්ඩව ඉහළම ප්‍රේෂණ ප්‍රමාණයක් ලබා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට ප්‍රධානතම විදේශ විනිමය මූලාශ්‍රය බවට පත්ව ඇති අතර, සමස්ත ප්‍රේෂණවලින් 10% කට අධික දායකත්වයක් එමගින් ලබා දී තිබේ. ඒ හා සමානවම, දෙවනුවට වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්තා කරමින් කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට දැවැන්ත ශක්තියක් ලබා දී ඇති අතර, 2025 වසරේදී 38,000කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් රැකියා සඳහා පිටත්ව ගිය රට ලෙස ද කුවේට් රාජ්‍යය වාර්තාගත වී ඇති අතර ඒ අනුව පසුගිය වසරේ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් විදේශගත වී ඇත්තේ කුවේට් රාජ්‍යයෙනි.
2020 වර්ෂයට පසුව මෙලෙස වාර්තාගත ලෙස විදේශ ප්‍රේෂණ ලැබුණු වර්ෂය පසුගිය වර්ෂය වන අතර එලෙස විදේශ ප්‍රේෂණ එවීමට හේතුව ආණ්ඩුව කෙරෙහි විදෙස් ගත ශ්‍රමිකයන්ට ඇති විශ්වාසය නිසා බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අමාත්‍යවරයා විජිත හේරත් සහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එහිදී ආණ්ඩුව විදෙස්ගත් ශ්‍රී ලාංකිකයන්ට Thank you කිව්වෝය. ඒ අන් කිසිවක් නොව විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඩොලර් යනු මෙරට ආර්ථිකයේ ජීවනාලිය බැවිණි.
මෙරට ආර්ථිකය ගොඩ නැගීමට වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් එවන මැදපෙරදිග ශ්‍රමිකයන් මේ මොහොත ජීවිතය සහ ආරක්ෂාව පිළිබඳව අනියත බියකින් පසු වේ. බියුරෝව ඩොලර් වලට කෙළ හලමින් සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණයට වඩා ඊශ්‍රායල් යාම පිළිබඳව කැම්පේන් කරමින් කටයුතු කිරීම සහ ඊශ්‍රායල් රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව නවතා ඇත. ඊශ්‍රායල් තානාපති නිමල් බණ්ඩාර පසුගිය ටෙල් අවිව් වලට එල්ල වූ ප්‍රහාරය ගැන බුකියේ ලියූ පරිදිම මෙවරද එරට තත්ත්වය වාර්තා කරමින් සිටී.
කොවිඩ්-19 වසංගතය හමුවේ ද මැදපෙරදිග ඇතුළු රටවල් රැසක සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දුන් අර්බුදයන් එමටය. වසංගතය නිසා ව්‍යාපාර වැසී යාමත් සමඟ බොහෝ ශ්‍රමිකයන්ට රැකියා අහිමි වූ අතර, සේවා යෝජකයන් විසින් ඔවුන්ව නවාතැන්පොළවලින් ඉවත් කරන ලදී. මෙහිදී ගෘහ සේවිකාවන් පවා මහ මඟට ඇද දැමූ අවස්ථා වාර්තා වූ අතර, ඔවුන්ට ආහාර සහ ජලය ලබා ගැනීමට පවා මූල්‍ය ශක්තියක් නොතිබූ තත්ත්වයන් වාර්තා විය.
විශේෂයෙන්ම කුවේට් සහ ජෝර්දානය වැනි රටවල සේවය කළ ශ්‍රමිකයන් දහස් ගණනින් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඉදිරිපිට රැස්වී තමන්ව වහාම මෙරටට ගෙන්වා ගන්නා ලෙස බලකරමින් විරෝධතා දැක්වූහ. තානාපති කාර්යාලවලට එවැනි විශාල පිරිසකට නවාතැන් දීමට හෝ ආහාර සැපයීමට ප්‍රමාණවත් පහසුකම් නොතිබීම නිසා ශ්‍රමිකයන් සහ නිලධාරීන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයන් ඇති විය.
ඩොලර් වලට කෙල හලන හිඟන රජයන් විසින් එවකට මෙම රටේ ආර්ථිකයට දායකත්වය දක්වන ශ්‍රමිකයන්ට සැලකූ ආකාරය පිළිබඳව විශාල විවේචනයක් එල්ල විය. මුදල් ගෙවිය හැකි අයට ඉක්මනින් මෙරටට පැමිණීමට අවස්ථාව ලැබුණු අතර, රැකියා අහිමි වූ අසරණ ශ්‍රමිකයන්ට මාස ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදු විය. මෙරටට පැමිණි පසු සමහර ශ්‍රමිකයන්ව මෙරට හෝටල් වලින් අසීමිත ලෙස සූරා කෑහ.
කෙසේ වුවද මේ මොහොතේ මද පෙරදිග තත්ත්වය හමුවේද ශ්‍රී ලංකික ශ්‍රමිකයන් ගමනාන්ත රටවල බියෙන් පසු වෙති.
ඉහත අර්බුධයන් කලින් කලට සිදු වෙද්දී සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ බලධාරීන් සිද්ධිය වූ හැසිරෙන සාමාන්‍ය විදිහටම හැසිරෙමින් සිටී. මේ වන විට බොහෝ විට අමාත්‍යංශය සහා SLBFE එක IOM එක වැනි ජාත්‍යන්තර ආයතන වල සහය පතමින් සිටිනවා විය හැකිය.
මක් නිසාද ලියුම්කරු දන්නා පරිදි ශ්‍රී ලංකාවේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සහ මැදපෙරදිග වැනි භූ දේශපාලනිකව අස්ථාවර කලාපවල සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය සතුව හදිසි වගකීම් සහගත ප්‍රතිපත්තියක් (Emergency Responsible Policy) නොමැත. මෙවැනි අර්බුධයන්හිදී සංක්‍රමණික ශ්‍රමිකයන් යවන රටක් ලෙස (Sending Country) Emergency Responsible Policy එකක අනිවාර්ය අවශ්‍යතාව පිළිබඳව කෝවිඩ් වසංගත සමයේදී, ලෙබනන් යුද්ධය අවස්ථාවේ, මියන්මාර්හි සයිබර් වහල් වධ කඳවුරු ප්‍රශ්නයේදී, ඊශ්‍රායල් ටෙල් අවිව් වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී වැනි බොහෝ සිදු වීම් අභිමුව මෙරට බලධාරීන්ව දැනුවත් කර ඇත. මෙවැන්නක අවශ්‍යතාවය පිළිබඳව සංක්‍රමණික සමිති, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය ඇතුළු වගකිව යුතු ආයතන සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර ඇත. එවැනි අවස්ථා වලදී මේ සඳහා මැදිහත් විය යුතු උද්ධච්ච් නිලධාරීන් විසින් ඒ සඳහා සැලසුම් සහ ක්‍රියාත්මක වෙමින් සිටින බව පවසමින් අර්බුධය සමනය වන තුරු සීත කාමර වල පුටු රත් කළෝය. එසේ නොවන්නේ නම් හෝ එවැනි ප්‍රතිපත්තියක් ඇත්නම් මේ මොහොතේ එය භාවිත කළ යුතුය.
එවැනි ප්‍රතිපත්තියක් මගින් ආවරණය විය යුතු ප්‍රධාන අංශ පිළිබඳව ද මෙතෙක් පවතී සෑම ආණ්ඩුවකම බලධාරීන්ව දැනුවත් කර තිබේ.
කඩිනම් මුදාගැනීමේ සහ ඉවත් කිරීමේ නීතිමය රාමුවක් පැවතීම ඉතා වැදගත් වන අතර යුදමය තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ සැණින්, කිසිදු පාලන ප්‍රමාදයකින් තොරව ශ්‍රමිකයන් ආරක්ෂිත කලාප කරා හෝ මෙරටට ගෙන්වා ගැනීමට අදාළ නීතිමය ප්‍රතිපත්තියක් තිබිය යුතුය. මෙහිදී පළමුව ආරක්ෂාව යන මූලධර්මය මත පදනම්ව, ගුවන් ගමන් බලපත්‍ර හෝ වෙනත් ලියකියවිලි සේවා යෝජකයන් සතුව තිබුණද, ඔවුන් මුදාගැනීමට ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීමේ බලය මෙම ප්‍රතිපත්තිය හරහා හිමි විය යුතුය.
එසේම මනා මූල්‍ය සුරක්ෂිතතාව සහ හදිසි අරමුදල් භාවිතය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු අතර, හදිසි අවස්ථාවකදී ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හෝ අතරමැදි රටවල් හරහා ශ්‍රමිකයන් ප්‍රවාහනය කිරීමට රජයේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් වන තෙක් බලා නොසිට, විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සතු රක්ෂණ සහ සුබසාධන අරමුදල් සෘජුවම භාවිත කළ හැකි ක්‍රමවේදයක් මෙයට ඇතුළත් විය යුතුය. මෙය “හදිසි ප්‍රතිචාර අරමුදලක්” (Emergency Response Fund) ලෙස ක්‍රියාත්මක කළ හැකිය. මෙයින් අදහස් වන්නේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කිරීම ප්‍රමාද කිරීම හෝ මුදල් නොගැනීම නොවේ.
මෙම ප්‍රතිපත්තිය යටතේ, ශ්‍රමිකයන් යවන රටවල් සමඟ අත්සන් කරන ගිවිසුම්වලට “හදිසි අවස්ථා වගන්තියක්” ඇතුළත් කළ හැකි අතර සේවා යෝජකයෙකු යුද්ධයක් හේතුවෙන් තම නිවස හෝ ආයතනය අතහැර යන්නේ නම්, තම සේවකයා ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමේ හෝ තානාපති කාර්යාලයට භාර දීමේ නීතිමය වගකීම ඔවුන්ට පැවරිය යුතු වේ.
එසේම සෑම ශ්‍රමිකයෙකුගේම දත්ත සහ ඔවුන් සිටින ස්ථානය හදිසි අවස්ථාවකදී හඳුනාගත හැකි ඩිජිටල් පද්ධතියක් පවත්වාගෙන යාම මෙම ප්‍රතිපත්තියේ කොටසක් විය යුතු අතර එමගින් සන්නිවේදනය ඇණහිට ඇති ප්‍රදේශවල සිටින ශ්‍රමිකයන් පවා සොයාගෙන සහන සේවා සැපයීමට රජයට හැකියාව ලැබෙනු ඇත.
විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ආදර්ශ සපයන රටක් ලෙස පිලිපීනය හැඳින්විය හැකිය. ඔවුන්ගේ “Migrant Workers and Overseas Filipinos Act” නමැති ප්‍රබල නීතිමය රාමුව මගින් ඕනෑම හදිසි අවස්ථාවකදී ශ්‍රමිකයන් මුදාගැනීම රජයේ පැහැර හැරිය නොහැකි අනිවාර්ය වගකීමක් බවට පත් කර ඇති බව පැවසේ. මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔවුන් සතුව “Emergency Repatriation Fund” නමින් ස්ථාවර අරමුදලක් පවතින අතර, යුද්ධයක් හෝ වසංගතයක් වැනි ආපදා තත්ත්වයකදී රජයේ මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලැබෙන තෙක් බලා නොසිට වහාම ගුවන් යානා යෙදවීමට එමගින් අවස්ථාව සැලසේ. මීට අමතරව, සෑම තානාපති කාර්යාලයකම පිහිටුවා ඇති ‘ශ්‍රමික අංශ’ (POLO) සහ 24/7 ක්‍රියාත්මක පාලන මධ්‍යස්ථාන හරහා ඩිජිටල් ජාල ඔස්සේ ශ්‍රමිකයන් සමඟ සෘජු සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ඔවුන් සමත්ව ඇත.
ඉන්දියාව ද පසුගිය දශකය තුළ තම හදිසි ප්‍රතිචාර ප්‍රතිපත්තිය ඉතා ඉහළ මට්ටමකට ඔසවා තැබීමට කටයුතු කර ඇති බව පැවසේ. කොවිඩ් වසංගතය සමයේදී ලොව විශාලතම මුදාගැනීමේ මෙහෙයුම ලෙස සැලකෙන “Vande Bharat” මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකි වූයේ මෙම ශක්තිමත් පදනම නිසාවෙනි. ඉන්දීය රජය සතු “e-Migrate” පද්ධතිය මගින් සෑම ශ්‍රමිකයෙකුම සහ ඔවුන්ගේ සේවා යෝජකයා පිළිබඳ නිවැරදි දත්ත පවත්වාගෙන යන අතර, එමගින් ආපදා අවස්ථාවකදී අදාළ පුද්ගලයා සිටින ස්ථානය හඳුනාගැනීම ඉතා පහසු වේ. එසේම, “Indian Community Welfare Fund” (ICWF) හරහා අසරණ වන ශ්‍රමිකයන්ට අවශ්‍ය නීති ආධාර, නවාතැන් සහ මෙරටට පැමිණීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීම සඳහා ස්ථාවර මූල්‍ය දායකත්වයක් සැපයේ.
තවත් ප්‍රමුඛ රටක් වන ඉන්දුනීසියාව ද මෑත කාලීනව තම ශ්‍රමික ආරක්ෂණ ප්‍රතිපත්ති දැඩි කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ. ඔවුන්ගේ ප්‍රතිපත්තියට අනුව සෑම ශ්‍රමිකයෙකුටම හදිසි මුදාගැනීම් (Evacuation) පිරිවැය පවා ආවරණය වන පරිදි රක්ෂණයක් තිබීම අනිවාර්ය කර තිබීම විශේෂත්වයකි. එපමණක් නොව, ද්විපාර්ශ්වික සබඳතාවලදී ඉතා දැඩි ස්ථාවරයක සිටින ඉන්දුනීසියාව, කිසියම් සේවා යෝජකයෙකු තම සේවකයා ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත් හෝ අදාළ රටේ ආරක්ෂාව ගිලිහී ගියහොත්, එම රටට ශ්‍රමිකයන් යැවීම වහාම නතර කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි. මෙම රටවල් තුනෙහිම පොදු ලක්ෂණය වන්නේ “සිදුවීමකින් පසු විසඳුම් සෙවීම” වෙනුවට “ඕනෑම මොහොතක ක්‍රියාත්මක විය හැකි සූදානම් කළ පද්ධතියක්” පවත්වාගෙන යාමයි.
මෙම රටවල මෙම ප්‍රතිපත්ති 100%ක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව විවිධ සංවාද පවතින නමුත් ඔවුන් ඒ සඳහා වන ප්‍රවේශය පිලිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත් වේ. මෙවැනි ප්‍රතිපත්තියක් මගින් සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂිත වනවා සේම, ඔවුන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ හරහා රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වයට සාධාරණත්වයක් ඉටු කිරීම ද සහතික කෙරේ.
එය සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ දිනයට නැවත පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයන්ට තෑගි දී ව්‍යාජ ඇගයුම් වලට සහ ව්‍යාජ රටවිරු ලේබල් වලට වඩා අත්‍යාවශ්‍ය කාරණයකි. රජය විසින් සැබෑ ලෙසම මෙරට ශ්‍රමිකයන් කෙරෙහි වන ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව සපත කිරීමට මෙය කදිම අවස්ථාවකි. එසේ නොකරන්නේ නම් මේ ආණ්ඩුව සහ අමාත්‍යංශය පිළිබඳව ද අපට සිතීමට සිදු වන්නේ ජන ඝාතන යුද්ධයක් මැද මනුෂ සිදු කළ ක්‍රියාවන්ගෙන් මේ ඇමතිද වෙනස් නොවන බවයි.

| කල්ප මදුරංග

