ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිත්ය සේවකයෙකු ලෙස පෙනී සිටිමින් දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මාර්තු මස 05 දින අත්අඩංගුවට ගෙන තිබේ.
තමන් කාර්යාංශයේ සේවය කරන බවත්, තමන්ට දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදීමට හැකි බවත්, ඒ සඳහා රුපියල් ලක්ෂ 34ක මුදලක් අවශ්ය බවත් පේරාදෙණිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් පැවසූ හෙයින් ඒ සඳහා මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 2ක් ලැබී තිබේ.
ඒ අනුව ක්රියාත්මක වූ විමර්ශන නිළධාරීන් අදාළ සැකකරු මිරිහාන ප්රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලද අතර, එහිදී සැකකරු සතුව තිබී E-8 වීසා ඉල්ලුම්පත්ර රැසක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ. මෙම සැකකරු මුදල් ලබාදුන් පුද්ගලයින් කාර්යාංශය ඉදිරිපිටට කැඳවා එහි සේවය කරන බවට තහවුරු වන සේ මෙම මුදල් වංචාව සිදුකර ඇති අතර, කාර්යාංශයට කිසිඳු සම්බන්ධයක් නොමැති අයෙකු බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
මෙම වැටලීම සඳහා කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක පී.බී.ආරියසිංහ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් දිසානායක, නීති ක්රියාත්මක කිරිමේ නිළධාරී අමිතා කුමාරි යන නිළධාරීන් සහභාගී විය.

