"අපේ අයට ම මොක ද මේ වුණේ කියලා අපිටත් එක පාරට හිතා ගන්න බැරුව ගියා," මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේදී තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයාගේ ඥාතියෙක් එලෙස බීබීසී සිංහල වෙත පැවසීය.
සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු, තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයා මුහුණු දුන් සිදුවීම විස්තර කළේ ය.
'එයාට සිහි නැති වෙලා ඒ වෙලාවෙ ම පොලිසියෙන් ඇවිල්ලා හොස්පිට්ල් දාලා'
වෙන්නප්පුවට සමීප ප්‍රදේශයක පදිංචිකරුවකු වන 50 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස තුවාල ලබා තිබූ අතර ඔහු වසර 10කට වැඩි කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරයි.
තුවාල ලැබූ ලාංකිකයා අබුඩාබි ආසන්න නගරයක සිය බිරිඳ සමග හිතවතෙකුගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
"ජබෙල් අලී කියලා පැත්තක් තියෙනවා. අම්මයි, තාත්තයි අපි අඳුරන ඇන්ටි කෙනෙක් ඉන්නවා එයාව බලන්න ගියා. ඒ හරියේ තමයි මුලින් ම ගහන්න පටන් ගත්තෙත්. ඒ ගිහිල්ලා ඉද්දි තමයි මේ ගෙවල්වලට මොකක් හරි වැටිලා තියෙන්නේ. ඒ හරියේ ගෙවල් පහක් විතර ඩැමේජ් වෙලා තියෙනවා. තාත්තගේ ඇඟට සිවිලිමක් වගේ මොකක් හරි, බිත්ති කෑලි වගේ කඩන් වැටිලා තියෙනවා. ඒක තමයි අනතුර වෙන්න හේතුව. එයාට සිහි නැති වෙලා ඒ වෙලාවෙ ම පොලිසියෙන් ඇවිල්ලා ඇමිබියුලන්ස් කෝල් කරලා එයාව හොස්පිටල් එකට දාලා. ඒ දැම්මයින් පස්සේ සිහිය ආවා."
'ජීවිත අවදානම පැත්තෙන් ලොකු හානියක් නැහැ'
මාර්තු 31 වන දා සිදුවූ ප්‍රහාරය හේතුවෙන් මෙම ලාංකිකයා තුවාල ලබා ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව ඔහු සැත්කමකට භාජනය කර ඇති බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් තුවල ලැබූ ලාංකිකයාගේ බෑණණුවන් බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.
"ඊයේ රෑ සර්ජරි එකකට ගත්තා තාත්තාගේ කකුලේ ඇඟිල්ලක් පැනලා, ඇඟිලි වැඩ කරන්නේ නැතුව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ටිකක් ලොකු ඩැමේජ් එකකට තියෙන්නේ. අනිත් ඒවා සීරීම් තුවාල, වීදුරු කෑලිවලට කැපිලා තියෙනවා ඒ ඇරෙන්න ජීවිත අවදානම පැත්තෙන් ලොකු හානියක් නැහැ."
ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බැවින් දින කිහිපයකින් ඔහුට රෝහලෙන් පිට විය හැකි වනු ඇති බව ද ඔහු පැවසීය.
ඔහු තුවාල ලැබුවේ කුමන ආකාරයක ප්‍රහාරයකින් දැයි විමසූ අතර, ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව ඥාති පුත්‍රයා සඳහන් කළේ ය.
'අපිටත් හිතාගන්න බැරි වුණා ඒ පණිවිඩය එද්දි'
මෙම සිදුවීමෙන් හෝ මීට පෙර සිදුවූ ප්‍රහාරවලින් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලැබූ බව දැනගන්නට නැති බව ද ඔහු සඳහන් කළේ ය.
"අපි මේ පණිවුඩය ආපු වෙලාවේ පුදුම වුණා, විශ්වාස කරන්න බැරි වුණා. මොක ද අපි දන්න කෙනෙකුටවත්, වෙන කෙනෙක්ටවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැතිව මේ එක පාර ම අපේ අයට මොකක් ද මේ වුණේ කියලා අපිටත් හිතාගන්න බැරි වුණා ඒ පණිවිඩය එද්දි. හොස්පිට්ල් එකට ගිහිල්ලා දකිද්දි තමයි ඇත්ත කියල තේරුණේ අපිට."
මෙම සිදුවීමත් සමග ම පවතින තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට සිදුවන බව ද බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ ශ්‍රී ලාංකිකයා කියා සිටියේ ය.
'තව ටිකක් ආරක්ෂා වෙන්න වෙනවා කියන දේ අපිටත් දැන් තේරෙනවා'
ඔහු දැනට වසරකට පමණ කාලයක සිටි ඩුබායිහි රැඳී සිටින අතර යුද්ධය හමුවේ ගෙවීමට සිදුව ඇති අලුත් ජීවන රටාව ගැන ද ඔහු සඳහන් කළේ ය.
"මෙයාලත් කියනවා ඊයේ දවසේ තමයි ලු වැඩිපුර ඇටෑක් කරලා තියෙන දවස. ආරක්ෂාව පැත්තෙන් ඉස්සර එහෙම ප්‍රශ්නයක් තිබුණේ. දැන් ටිකෙන් ටික ටිකෙන් ටික හැමෝම බය යි. මනුස්සයින්ට ජොබ් නැති වෙනවා හෝටෙල්වල එහෙම ඒ නිසා ජොබ් නැතිව අපේ අය ප්‍රශ්නවල ඉන්නවා. ඒ එක්ක ම ආරක්ෂාව පැත්තෙන් හැමෝම බය වෙනවා. හැබැයි මොකක් හරි එද්දි ඇලර්ට් එකක් එවනවා. අපි පාවිච්චි කරන ඕන ෆෝන් එකකට ඇලර්ට් එකක් එවනවා. ඉස්සර දවස් දෙක තුකට සැරයක් වගේ තමයි ඇලර්ට් ආවේ. ඊයේ ඔය සිද්ධිය වෙන්න කලින් උදේ නැගිටිද්දි ඇලර්ට් 14ක් ඇවිල්ලා තිබුණා. එච්චර ඇටෑක් කරනවා."
"අපි ඇලර්ට් එකටත් පුරුදු වෙලා හිටියේ නිකං එනවා අපි අවටින් සද්දයක්වත් එන්නේ නැති නිසා. දැන් තමයි අපිට වැඩිපුර දැනෙන්නේ ඇලර්ට් එකක් ආවාට අපිත් තව ටිකක් ආරක්ෂා වෙන්න වෙනවා කියන දේ අපිටත් දැන් තේරෙනවා, අපේ ම එක්කෙනෙකුට කරදරයක් වුණ නිසා අපිට තේරෙනවා වැඩේ දැන්. හැමෝම ආරක්ෂා වෙනවා, ඒත් හැමෝම ආරක්ෂා වෙලා ඇතුළට වෙලා ඉන්න දෙයක් වෙන්නේ නැහැ මොක ද ගවර්න්මන්ට් එකෙන් අනිවාර්යෙන් ම මොකක් හරි කරනවා කියලා දන්න නිසා. අපිට ම මෙහෙම දෙයක් වෙච්ච නිසා දැන් තේරෙනවා ඇතුළකට වෙලා ඉන්න එක තමයි හොඳ කියලා," යැයි අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ඩුබායිහි සිටින ශ්‍රී ලාංකිකයා වැඩිදුරටත් පැවසීය.

