රටවිරු පවුල් සංවර්ධනයට වැඩපිළිවෙලක් සකසයි

රටවිරු පවුල් සංවර්ධනයට වැඩපිළිවෙලක් සකසයි

විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සඳහා වන ඒකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය හිමිය ඇත.

රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ පවුල්වල සිටින වයස අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන්ගේ ආරක්ෂාව හා අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුව ද, එවැනි පවුල්වල තිරසර සංවර්ධනය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති බව නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම, එකී කාන්තාවන් රැකියා ගිවිසුම්ගත කාලය අවසානයේ මෙරටට පැමිණිය ද පවුල් සංවර්ධනය සඳහා නිසි සැලැස්මක් නොමැති වීමෙන් සිය ආර්ථික හා සමාජීය අරමුණු ඉටු කර ගැනීම සඳහා නැවත නැවත විදේශගතවීමේ ප්‍රවණතාවයක් ද පවතී. වයස අවුරුදු 3‑18 අතර ළමයින්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග වඩාත් විධිමත් පරිදි නිසි යාන්ත්‍රණයක් ඔස්සේ ක්‍රියාත්මක කළ යුතු බව ද පෙනී ගොස් ඇත.

එබැවින්, විගමනික ශ්‍රමික පවුල්වල දිගුකාලීන අභිවෘද්ධිය උදෙසා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, විගමනික ශ්‍රමික පවුල්වලට ආර්ථික මග පෙන්වීම, ළමා සෞඛ්‍ය හා ආරක්ෂාව, වනිතා කටයුතු, රැකියා පුහුණු, කුඩා ව්‍යාපාර හා අපනයන සංවර්ධනය වැනි කරුණු සම්බන්ධයෙන් අදාළ වන රාජ්‍ය නිලධාරින් එක් කණ්ඩායමක් සේ කටයුතු කරමින් එම පවුල් සඳහා මග පෙන්වීම හා පහසුකම් සැපයීම පිණිස ‘විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සඳහා ඒකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශය’ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය මඟින් විශේෂ අවධානය යොමු කළ යුතු තත්ත්වයේ සිටින විදෙස් ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා තිරසර ජීවන තත්ත්වයක් ලබා දීම වෙනුවෙන් අවුරුදු 5ක සංවර්ධන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.