සිවරාසා අනෝජන් බේරාගැනීමේ සටන - නයනජීව බණ්ඩාර

anojan-akd
  • සෞදි අරාබියේ මරණ දඬුවම හමුවේ ශ්‍රී ලංකාවට කළ හැකි නීතිමය, රාජ්‍යතාන්ත්‍රික හා මානුෂීය මැදිහත්වීම මොකක්ද?

විදේශ රැකියාවකට ගිය ශ්‍රී ලාංකිකයෙකුගේ සමාජ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට සෞදි අරාබියේ දැඩි දඬුවමකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වීමත්, පසුව එම දඬුවම මරණ දඬුවමක් දක්වා ඉහළ දමා ඇති බවට ඔහුගේ නීතිඥ පාර්ශ්වයෙන් දැනුම් දීමත් සමඟ ශ්‍රී ලංකාව ඉදිරියේ බරපතළ රාජ්‍යතාන්ත්‍රික හා මානුෂීය අභියෝගයක් මතුව තිබේ.

නමුත් මෙම මරණ දඩුවම සම්බන්ධයෙන් නිල, ලිඛිත තීන්දුව පිලිබදව අදාල වාර්තාවන් මෙතෙක් ශ්‍රී ලංකා තනාපති කාර්යාලය වෙත ලැබී නොමැති බව තහවුරුවී ඇත.

2026 සැප්තැම්බර් 18 දින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සඳහන් කළේ, අනෝජන්ගේ නීතිඥයා විසින් අදාළ අධිකරණයේදී දඬුවම මරණ දඬුවම දක්වා වැඩි කළ බව තානාපති කාර්යාලයට වාචිකව දැනුම් දී ඇති බවත්, එහි නිල ලිඛිත තීන්දුව තානාපති කාර්යාලය බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

කෙසේ නමුත්,අනෝජන්ට මරණ දඬුවම නියම කර ඇති බවට පලවන බරපතළ වාර්තාව, නිල ලිඛිත තීන්දුව සහ නීතිමය පදනම, ශ්‍රී ලංකා බලධාරීන් විසින් කඩිනමින් තහවුරු කරගත යුතුය.

සිද්ධිය ආරම්භ වූයේ කොතැනින්ද?

වාර්තා අනුව, සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන්ට එරෙහි නඩුවේ පසුබිම වූයේ ඔහු සමාජ මාධ්‍යයේ පළ කළ ප්‍රකාශයකි.එම ප්‍රකාශය ඉස්ලාම් ආගම සහ නබිතුමා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කර ඇති බව වාර්තා වී තිබේ. මේ හේතුවෙන් ඔහුට 2026 ජූලි මාසයේදී , වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වූ බව වාර්තා විය.කෙසේවෙතත් පසුව විදේශසේවා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්විමෙන්, ඔහුගේ නීතිඥ පාර්ශ්වය විසින් පසුව එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට අනුව, එම අභියාචනය 2026 අගෝස්තු 25 දින අදාළ අභියාචනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.‍එහෙත් පසුව, එම අභියාචනයේ ප්‍රතිඵලයක් ලෙස දඬුවම අඩු වීම වෙනුවට මරණ දඬුවම දක්වා ඉහළ ගොස් ඇති බව අනෝජන්ගේ නීතිඥයා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබුණි.

පවතින තත්වය අනුව ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ පළමුව කළ යුතු දෙය වන්නේ අදාළ සෞදි අධිකරණ තීන්දුවේ සම්පූර්ණ සහ නිල පිටපත ලබා ගැනීමයි.

එහිදි,ඔහුට එරෙහි නිශ්චිත චෝදනා මොනවාද?කුමන නීති වගන්ති යටතේ චෝදනා ගොනු කර තිබේද?අධිකරණය භාවිත කළ සාක්ෂි මොනවාද?ඔහු මුහුණු පොතට එක්කල සටහනේ සම්පූර්ණ අන්තර්ගතය කුමක්ද?පොස්ට් එක සත්‍යයෙන්ම අනෝජන්ගේ ගිණුමෙන් පළ වූ බව තහවුරු කළේ කෙසේද?මුල් තීන්දුවෙන් පසු අභියාචනා අධිකරණය දඬුවම වැඩි කළ නීතිමය පදනම කුමක්ද?මරණ දඬුවම අවසන් තීන්දුවක්ද, නැතිනම් තවත් අභියාචනා අවස්ථා තිබේද?යන සියල්ල එම ලේඛනයෙන් පැහැදිලිකරගත හැක.එම ලේඛනය නැතිව සම්පූර්ණ නීතිමය උපායමාර්ගයක් සකස් කිරීම රටක් ලෙස අපහසුය.

මරණ දඬුවමක් සම්බන්ධයෙන් විදේශ අධිකරණයක නඩුවකට මුහුණ දෙන පුද්ගලයෙකුට සාමාන්‍ය නීතිමය සහායක් පමණක් ප්‍රමාණවත් නොවිය හැකිය.ශ්‍රී ලංකාව මෙි මොහොතේ කළ යුත්තේ සෞදි නීතිය පිළිබඳ විශේෂඥතාව ඇති, සෞදි අපරාධ , සයිබර් අපරාධ හා ආගමික නඩුකටයුතු පිලිබදව පිළිබඳ අත්දැකීම් හා එම නඩුකටයුතු මෙහෙයවා ඇති, ස්වාධීන නීති කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමයි.

මෙහිදී “අනෝජන් කළ ප්‍රකාශය හොඳද නරකද?” යන්නට වඩා නීතිඥ කණ්ඩායම අවධානය යොමුකල යුත්තේ,චෝදනාව නිවැරදිව ගොනු කර තිබේද?අදාළ නීති වගන්තිය නිවැරදිව යොදා තිබේද?සාක්ෂි එකතු කිරීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලද?අනෝජන්ට නීතිමය නියෝජනය ප්‍රමාණවත් ලෙස ලැබුණේද?පරිවර්තන සහ භාෂා ගැටලු තිබුණේද?අභියාචනය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ කිසියම් අඩුපාඩුවක් තිබේද?යන්නයි.

විදේශ අමාත්‍යාංශය පවසන පරිදි, නීතිඥයා තානාපති කාර්යාලයට දැනුම් දී ඇත්තේ අදාළ තීන්දුවට එරෙහිව සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මාසයක කාලයක් තුළ අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.එබැවින් මේ අවස්ථාවේ කාලය ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාව:“අභියාචනය කළ යුතුද?”යන ප්‍රශ්නයේ සිටිය යුතු නැත. ඒ වෙනුවට,“අභියාචනය උපරිම නීතිමය ශක්තියකින්, නියමිත කාලයට පෙර ඉදිරිපත් කරන්නේ කෙසේද?”සිතා කටයුතු කලයුතුය.

නීතිමය සටනට අමතරව රාජ්‍යතාන්ත්‍රික මැදිහත්විමක්ද අවශ්‍යයි.

මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවට කළ හැකි දෙය අධිකරණයේ නඩුවට මැදිහත් වී තීන්දුව “අවලංගු කරවීම” නොවේ.සෞදි අරාබිය යනු ස්වෛරී රාජ්‍යයකි.

එබැවින් ශ්‍රී ලංකාවට ගත හැකි මාර්ගය වන්නේ නීතිමය ක්‍රියාවලියට ගරු කරමින්, රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ මානුෂීය සහන ඉල්ලා සිටීමයි.

විදේශ අමාත්‍යාංශය දැනටමත් කොළඹ සෞදි තනාපති කාර්යාලය සමඟ සාකච්ඡා කර ඇති අතර, සෞදි බලධාරින් සමඟ ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සම්බන්ධ වී සිටින බව ප්‍රකාශ කර ඇත.එය තවත් ඉහළ මට්ටමකට ගෙනයමින් ජනාධිපති මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ශ්‍රී ලංකාවට අවශ්‍ය නම්,විදේශ අමාත්‍යවරයා, සෞද්අරාබියේ ශ්‍රී ලංකා තානාපති,

රියාද් හි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරීන්,හරහා අවශ්‍ය සාකච්ජාවක් ඉල්ලාසිටිය හැක.

මරණ දඬුවම වෙනුවට දඬුවම ලිහිල් කරගැනිම

නීතිමය අභියාචනයේදී අරමුණ මරණ දඬුවම අවලංගු කිරීම විය යුතු අතර, ඒ සමඟම සමාව හෝ දඩුවම වෙනස්කරගැනිම වැනි මානුෂීය මාර්ග ද විවෘතව තබාගත යුතුය.මෙහිදී අනෝජන්ගේ,පළමු වරට සිදුවූ වරදක්ද? මෙය අපරාධමය හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධ නොවන සිද්ධියක්ද?ඔහු සමාව ඉල්ලා තිබේද?

ඔහුගේ පවුලේ තත්ත්වය කුමක්ද?ඔහුට ශ්‍රී ලංකාව තුළ නැවත ජීවත්වීමට අවස්ථාව ලබාදිය හැකිද?ඔහුගේ රැකියා සහ පවුල් පසුබිම කුමක්ද?වැනි කරුණු මානුෂීය කරුණු ලෙස ඉදිරිපත් කළ හැකිය.මෙය නීතිමය අභියාචනයට විකල්පයක් නොව, ඊට අමතර ආරක්ෂක මාර්ගයකි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තිබේ.2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සෞදි විදේශ අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික දේශපාලන, ආර්ථික සහ ජනතා සබඳතා පිළිබඳ සාකච්ඡා කර තිබේ. දෙරට අතර 2026 දී දේශපාලන උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කිරීමටද කටයුතුකර තිබුණි.එමෙන්ම ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් දෙරටේ සබඳතාවල වැදගත් කොටසක් බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයම සඳහන් කරයි.එබැවින් මෙය හුදෙක් “එක් පුද්ගලයෙකුගේ නඩුවක්” ලෙස නොව,ශ්‍රී ලාංකික විගමනික පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධ ද්විපාර්ශ්වික කරුණක්ලෙසද ඉදිරිපත් කළ හැකිය.

මෙම සිද්ධියත් සමග විදේශගත ශ්‍රී ලාංකිකයන්ට නව පාඩමක්ද කියාදි තිබෙි. විදේශ රැකියාවකට යන ශ්‍රී ලාංකිකයෙකුට තමන්ගේ රටේ නීතිය පමණක් දැන සිටීම ප්‍රමාණවත්ද?නැත.ඔහු සේවය කරන රටේ,සමාජ මාධ්‍ය නීති, සයිබර් අපරාධ සම්බන්ධයෙන් පවතින නීති, ආගමික ප්‍රකාශ සම්බන්ධ සීමා, අපහාස නීති, රාජ්‍ය විවේචනය සම්බන්ධ සීමා සහ දණ්ඩ නීතිපිළිබඳ මූලික දැනුමක් තිබිය යුතුය.

ශ්‍රී ලංකාවේ ජාතික විදේශ රැකියා ප්‍රතිපත්තිය දැනටමත් සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුභසාධනය ප්‍රමුඛ අරමුණක් ලෙස දක්වයි. 2023–2027 National Policy and Action Plan on Migration for Employment යටතේ සංක්‍රමනික විගමණිකයන්ගෙ  අයිතිවාසිකම්, ආරක්ෂාව, සමාජ ආරක්ෂණය සහ සුභසාධනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අවධාරණය කර ඇත.

ඒ නිසා මෙම සිද්ධියෙන් පසු රටට කළ හැකි දිගුකාලීන වැඩසටහන් කිහිපයක් තිබේ.

  1. විදේශ රැකියා සඳහා පිටත්ව යන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමන් යන රටේ ප්‍රධාන නීති පිළිබඳ අනිවාර්ය දැනුවත් කිරීමක්.
  2. විදේශගත ශ්‍රමිකයන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ රට අනුව වෙනස් වන නීති පැහැදිලි කරන මාර්ගෝපදේශය.
  3. විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයෙකුට බරපතළ අපරාධ චෝදනාවක් එල්ල වූ විට, තානාපති කාර්යාලය හරහා වහාම සුදුසු නීතිඥ සහාය ලබාදෙන ක්‍රමවේදයක් සකස්කිරිම
  4. ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඬුවමක් සම්බන්ධ නඩුවක් ආරම්භ වූ වහාම Foreign Ministry, Embassy සහ Foreign Employment Ministry අතර ක්‍රියාත්මක වන විශේෂ alert mechanism එකක් සැකසිම
  5. විදේශගත ශ්‍රමිකයෙකුට බරපතළ නඩුවක් ඇති වූ විට පවුල සහ තානාපති කාර්යාලය අතර සම්බන්ධීකරණය කරන නිලධාරියෙකු පත් කිරීම. සකස්කිරිම සුදුසුය.

තානාපති කාර්යාලයේ වගකීම කුමක්ද?

ශ්‍රී ලංකා රියාද්හි තානාපති කාර්යාලය තම නිල වෙබ් අඩවියේ කොන්සියුලර් සේවාව හා ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය හා ආරක්ෂාව තම මෙහෙවරේ කොටසක් ලෙස දක්වයි. එමෙන්ම ඔබේ තානාපතිවරයා සමග කථාකරන්න වැඩසටහන හරහා ශ්‍රී ලාංකිකයන්ට නීතිමය ක්‍රියාපටිපාටි සහ වෙනත් ගැටලු පිළිබඳ සහාය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවද විදේශ අමාත්‍යාංශය පවසයි.ඒ නිසා අනෝජන්ගේ සිද්ධිය තුළ තානාපති කාර්යාලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නිශ්චිත ප්‍රශ්න තිබේ නම් ඒවාද විනිවිදභාවයෙන් විමසා බැලීම අවශ්‍යය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා දැනටමත් නීතිඥ තෝරාගැනීම, අභියාචනා ලේඛන පවුලට ලබාදීම සහ නීතිමය වියදම් පිළිබඳ ප්‍රශ්න මතු කර තිබේ. මේවා ඔහු විසින් ඉදිරිපත් කළ චෝදනා සහ ප්‍රශ්න වන අතර, ඒවා ස්වාධීනව තහවුරු කර ගැනීම අවශ්‍යය.මෙහිදී වඩාත් වැදගත් දෙය වන්නේ වගකීම සොයා බැලීම සහ අනෝජන් බේරාගැනීම යන කාර්ය දෙක එකිනෙක බාධා නොවන ලෙස සිදු කිරීමයි.

ජනතාවට කළ හැකි දෙය කුමක්ද?

මේ අවස්ථාවේ ජනතාවගේ මැදිහත්වීමත් වැදගත්ය නමුත් එය නීතිමය ක්‍රියාවලියට හානි කරන ආකාරයේ නොවිය යුතුය. ඔවුන්ට මෙි අවස්ථාවෙි, විදේශ අමාත්‍යාංශයෙන් නිල යාවත්කාලීන තොරතුරු ඉල්ලා සිටීම, අනෝජන්ගේ නීතිමය අභියාචනය සඳහා සුදුසු නීතිඥ සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම,සෞදි බලධාරින් ලෙස සහනයක් ඉල්ලා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටීම,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීම,සත්‍ය තොරතුරු පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම, අනෝජන්ගේ පවුලට මානුෂීය සහාය ලබාදීම, කල හැක.

එහෙත් නොකළ යුතු දෙයක්ද තිබේ. මේ සිද්ධිය සමාජ මාධ්‍ය සම්බන්ධයෙන්,අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ අරමුණින් අපහාසාත්මක හෝ තර්ජනාත්මක ප්‍රකාශ කිරීම, සෞදි අරාබියේ හෝ එරට ජනතාවට එරෙහි වෛරී ප්‍රචාර ගෙන යාම, තහවුරු නොකළ තොරතුරු පැතිරවීම වැනි ක්‍රියා අනෝජන්ගේ නීතිමය තත්ත්වයට උපකාරී වීම වෙනුවට අවාසිදායක විය හැකිය.රට වැසියන් ලෙස අපේ අරමුණ විය යුත්තේ:“ඔහු බේරාගැනිමයි.

මෙම අවස්ථාවේ රජයට පහත අදියර පහක ක්‍රියාමාර්ගයක් ගත හැකිය.

පළමු අදියර,නිල ලිඛිත තීන්දුව ලබාගැනීම, දෙවන අදියර සෞදි අපරාධ නිතිය, සයිබර් අපරාධ හා ආගමික නිතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති හා එවැනි නඩු මෙහෙයවා ඇති, නීතිඥ කණ්ඩායමක් යොදවා වහාම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය සමාලෝචනයක් කිරීම,තුන්වන අදියර, නියමිත කාලය තුළ, ශ්‍රේෂ්ඨාධිකරණය සදහා ශක්තිමත් අභියාචනයක් ඉදිරිපත් කිරීම, සිව්වන අදියර , සෞදි බලධාරින් වෙත ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අනෝජන් වෙනුවෙන් මානුෂික සමාව ඉල්ලාසිටිම,පස්වන අදියර අනෝජන්ගේ නඩුවේ නීතිමය ක්‍රියාවලිය සහ පවුලට ලබාදෙන කොන්සිලර් උපදෙස් හා මගපෙන්විම් පිළිබඳ පැහැදිලි, නිරන්තර තොරතුරු සැපයීමයි.

නීති වගන්ති, අධිකරණ තීන්දු, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සහ විදේශ ප්‍රතිපත්ති අතර අපට සමහර විට අප අමතක නොකලයුතු කරුනක් තිබෙි. අනෝජන් මනුෂ්‍යයෙකි.ඔහු නැවත නිවසට පැමිණෙන දිනයක් බලා සිටින පවුලක් තිබේ.ඔහු කළ ප්‍රකාශය පිළිබඳ සමාජයට විවිධ අදහස් තිබිය හැකිය.එහෙත් කිසියම් පුද්ගලයෙකුගේ ජීවිතය සම්බන්ධ තීරණයක් ඉදිරියේ, රටක් ලෙස ඔහුට ලබාදිය හැකි නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික සහාය උපරිමයෙන් ලබාදීම ශ්‍රී ලංකාවේ වගකීමකි.

අවසානයේ සිවරාසා අනෝජන්ගේ සිද්ධිය අපට අද පෙන්වා දෙන්නේ විදේශ රැකියාව යනු වැටුපක් උපයා ගැනීම පමණක් නොවන බවයි.විදේශ රැකියාව යනු වෙනත් රටක නීතියක් යටතේ ජීවත්වීමකි.එබැවින් විදේශගත ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට පත් වූ විට ඔහු වෙනුවෙන් නීතිමය සහාය ලබාදීම, ඔහුගේ පවුල සමඟ සම්බන්ධ වීම, සුදුසු නීතිඥයෙකු ලබාදීම සහ අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදු කිරීම රටක විදේශ සේවයේ වැදගත් වගකීමකි.

අද අනෝජන්ගේ සිද්ධියේදී අප හැසිරිය යුත්තේ කෝපයෙන් නොවෙි,අවශ්‍ය වන්නේ නීතියයි අවශ්‍ය වන්නේ නීතිඥයන්ය.අවශ්‍ය වන්නේ කාලයට පෙර අභියාචනයයි.අවශ්‍ය වන්නේ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමයි.

අවශ්‍ය වන්නේ මානුෂීය සහනයක් ලබාගැනීමේ සෑම නීත්‍යානුකූල මාර්ගයක්ම භාවිත කිරීමයි.

nayanajeewa bandara

‍| නයනජීව බන්ඩාර.(newscentre)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image