සිවරසා අනෝජන්, රිසානා නාෆීක් සහ රංජිත් ද සිල්වා: සෞදි අරාබියේ මරණ දඩුවම සහ ශ්‍රී ලාංකිකයෝ

සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ සිවරසා අනෝජන් ගේ ජීවිතය බේරාගන්න ආණ්ඩුව මේ වෙනකොට රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාදාමයක් දියත් කරලා තියෙනව.

ඒ උත්සාහයට දෙස්, විදෙස් ශ්‍රී ලාංකිකයින්ගේ සහය පළවෙන අතරවාරයේ ඔහු වෙනුවෙන් නිහඬ උද්ඝෝෂණ සහ යාඥා මෙහෙයන් සහ පහන් දැල්වීම් වගේ කටයුතුත් රට පුරා සිද්ද වෙනව. 

ආණ්ඩුවේ මෙහෙයුමේ කොටසක් හැටියට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මාලදිවයිනේදී හමු වෙලා අදාළ නීතිමය සහ මානුෂීය පසුබිම පිළිබඳව සාකච්ඡා කළ බවත්, ඒ සඳහා පූර්ණ සහාය දෙන බවට මොහමඩ් නෂීඩ් පොරොන්දු වූ බවත් මාධ්‍ය වාර්තාවල දැක්වුනා.

අනෝජන් ගේ අත්දැකීමත් එක්ක සෞදි අරාබියේදී මරණ දඩුවමට ලක් වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගැන මගේ අනුවේදනීය අත්දැකීමක් ඔබ සමග බෙදාගත යුතුයි කියල මට හිතුණා. ඒක ඇත්තටම හරිම කනගාටුදායක කතාවක්. මේ කතාව මම පහුගිය දවසක සංදේශයේ නාලිකාවේ ග්‍රාහකයින් එක්ක බෙදාගත්ත. (ලින්කුව කොමෙන්ටුවේ)

මීට අවුරුදු විසි එකකට කලින්, 2005 අවුරුද්දේ මාර්තු මාසේ දවසක - ඒ දවස්වල මම බීබීසී සිංහල සේවයේ කනිෂ්ඨ සාමාජිකයෙක් - අපිට සවුදි අරාබියේ ඉඳල දුරකතන ඇමතුමක් ආව. මම පොඩ්ඩක් මේ ඇමතුම ගැන පසුබිම ඔබට කියන්න ඕන.

2005 කියන්නේ අපි කාටවත් ස්මාට් ෆෝන් එකක් තියා පුංචි නොකියා ෆෝන් එකක්වත් තිබුණ කාලයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි අපේ ලන්ඩන් ඔෆිස් එකේ තිබුණෙත් දුරකතන දෙකක් හෝ තුනක් විතරයි. කොටින්ම අපි හැම කෙනෙකුටම අපේම කියල දුරකතනයක් තිබුණෙ නැහැ. ඉතින් ඔෆිස් එකේ ඒ වෙලාවේ ඉන්න කෙනා කෝල් එකක් ආවම answer කරනවා. ඔය විදියට එදා ඒ ආපු කෝල් එක ගත්තේ මම.

කෝල් එක ආවේ සෞදි අරාබියේ ඉඳල. කෝල් එක දුන්නේ රියාද් අගනුවර හිරගෙදරක ඉඳල. කතා කළේ සිරකරුවෙක්. ශ්‍රී ලාංකිකයෙක්. 

නිකම්ම සිරකරුවෙකුත් නෙවෙයි. කවද හරි දවසක හිස ගසා දාල මරා දමන තුරු කූඩුවේ දාල ඉන්න මරණ දඬුවමට ලක් කරපු සිරකරුවෙක්. මට දැනගන්න ලැබුණ විදියට ඒ හිරගෙදර phone booth එකක් තියෙනව. ගාඩ් ලගෙන් අවසර අරගෙන හිරකරුවන්ට ඒ බූත් එකට සල්ලි දාල කෝල් එකක් ගන්න පුළුවන්.

ෆෝන් එකේ එහා පැත්තේ හිටියේ ඩී. ඩී. රංජිත් ද සිල්වා.

මරණ දඩුවම දීපු තවත් ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙක් රංජිත් එක්ක රියාද් අගනුවර අල් හයර් හිරගෙදර හිර කරලා හිටිය.

වික්ටර් කොරෙයා, සනත් පුෂ්පකුමාර සහ ශාමිල සංගීත් කුමාර අනිත් තුන් දෙනා.

ඔවුන්ට මරණ දඩුවම දීල තිබුණෙ සන්නද්ධ මංකොල්ලකෑම සහ ගිනිඅවි පෙන්වා සිවිල් වැසියන් බියගැන්වීම යන චෝදනාවලට වැරදිකරුවන් බව තීරණය කරලා. රංජිත් ඒ කතාව මට විස්තර කළා. මට මතක විදියට ඔවුන් සෞදි අරාබියේ සේවය කරපු බංග්ලාදේශ ජාතිකයෙකුට ගිනි අවියක් පෙන්නලා කොල්ලකෑමක් කරලා තිබුන.

ඒ චෝදනාව රංජිත් ප්‍රතික්ෂේප කළේ නැහැ. තමන් වරදක් කරපු බව ඔහු පිළිගත්තා. ඒත් ඔහු බැගෑපත්ව ආයාචනා කළේ අනේ අපිව මරා දාන්න එපා කියල. මරන්නේ නැතුව ජීවිතාන්තය දක්වා හරි හිරේ දාන්න කියල සවුදි බලධාරීන්ට බලපෑම කරන්න කියල තමයි ඔහු මගෙන් සහ සංදේශයේ මගේ සහෝදර මාධ්‍යවේදීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ.

ඒ පලවෙනි කෝල් එකෙන් පස්සේ අවුරුදු ගණනක් රන්ජිත් මට  වරින්වර කෝල් කළා. මට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔවුන්ගේ කතාව වාර්තා කරන එක. බීබීසී සිංහල වෙබ් අඩවිය ඒ දවස්වල තිබුනේ ඉංග්‍රීසියෙන්. ඉතින් සංදේශයේ ගුවන් විදුලි වැඩසටහන්වලත්, වෙබ් අඩවියෙත් මම ඔවුන්ගේ කතාව වරින්වර වාර්තා කළා. ඒ ගුවන් විදුලි වැඩසටහන් අද සොයා ගන්න නැහැ. නමුත් අන්තර්ජාලයේ මම ලියපු වාර්තා තවමත් තියෙනව. ඒ ලිපියක ලින්කුවත් කොමෙන්ටු තීරුවේ දාන්නම්.

එදා ඉඳල මාස ගාණක් සැරෙන් සැරේ රංජිත් හිරගෙදර ඉඳල අපිත් එක්ක කතා කළා. 

මම වැඩට ආවේ නැති දවස්වල රංජිත් මගේ සහෝදර මාධ්‍යවේදීන් එක්ක දුක කියල තිබුන. 

අවුරුදු විසි එකකට පස්සෙත් තවමත් රන්ජිත් ගේ කටහඬ දෝංකාර දෙනවා වගේ මට ඇහෙනවා.

"අනේ අපිව බේරගන්න, සරෝජ් මහත්තයා."

මට කවදාවත් කෝල් කරන්න විදියක් තිබුනේ නැහැ. ඒත් ඔහු ෆෝන් එකට ගෙවන්න මුදලක් හොයාගත්ත ගමන් අපිට කෝල් කළා. ටික කාලයක් යනකොට රන්ජිත් සංදේශය ටීම් එකේ අපි හැමෝගෙම මිතුරෙක් වෙලා හිටිය.

මමත්, සංදේශයේ ටීම් එකත් ඔවුන්ගෙ ඉරණම වාර්තා කළා. ඔවුන් බේරාගන්න මැදිහත් වෙන්න කියල ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කළා. ඔවුන්ට සමාවක් දෙන්න සවුදි ආණ්ඩුවට බලකරන්න කියල ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් වගේ මානව හිමිකම් සංවිධාන දැනුවත් කළා. ඇත්තෙන්ම ලංකාවේ ආණ්ඩුවත්, ඒ මානව හිමිකම් සංවිධානත් ඔවුන්ගේ ජීවිත බේරගන්න උත්සාහයක් ගත්ත බවත් සිහිපත් කරන්න ඕනේ.

රන්ජන් රාමනායකත් ඒ දවස්වල අපිත් එක්ක ඔවුන්ගේ ජීවිත බේරා ගන්න සටනට එකතු වුනා. රංජිත්, රන්ජන්ටත් නිතර කෝල් කරලා තිබුණ.

රන්ජිත් ජීවිතේ බේරගන්න කොයි තරම් උත්සහ කලාද කියනවා නම්, ඒ කාලේ අගමැති මහින්ද රාජපක්ෂ ලන්ඩන් සංචාරයකට ඇවිත් ඉන්න බව ආරංචි වෙලා, මහින්ද ලන්ඩනයේ බෞද්ධ විහාර්ස්තානයක ඉන්න වෙලාවක් හොයාගෙන මහින්ද එක්ක කෙලින්ම කතාකරන්න පවා ඔහු සමත්වෙලා තිබුන. මම හිතන්නේ කරන්න පුළුවන් උපරිම උත්සහයක් දරන බවට අගමැති මහින්දත් ඒ වෙලාවේ ඔහුට පොරොන්දු වෙලා තිබුන.

නමුත් අවසානයේ අපි කාටවත් ඔවුන්ගේ ජීවිත බේරාගන්න බැරි වුණා.

හැම සිකුරාදා දවසක්ම දවස ගෙවන්නේ භීතියෙන් වෙවුලමින් කියල රංජිත් මට කිවුව. මොකද සිකුරාදා තමයි සිරකරුවන්ට අත, පය කපා දාන දඩුවම් දෙන්නේ; සිරකරුවන්ගේ හිස ගසා දාන්නේ. ඒවා කරන්නේ අනිත් සිරකරුවනුත් ගෙනල්ල එයාල ඉදිරියේ. 

ඒ නිසා හැම බ්‍රහස්පතින්දාවකම ඔවුන්ට නින්ද ගියේ නැහැ.

කොහොම හරි එක සිකුරාදා දවසක් පන්න ගත්තොත් ඊළඟ සිකුරාදා වෙනතුරු ඔවුන් හිටියේ පුදුම බයකින්. ඊළඟ සිකුරාදා හිස ගසා දාන්නේ කාගේද කියල කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.

රංජිත් මට කතා කරලා ඔවුන්ගේ වේදනාව කියනවා. ඒ තොරතුරු අරගෙන අපි BBC සංදේශයේ ගුවන් විදුලියේත්, වෙබ් අඩවියෙත් වාර්තා කරනවා. ආණ්ඩුවට ඒ ගැන දැනුම් දෙනවා. මානව හිමිකම් සංවිධාන දැනුවත් කරනවා.

සංදේශයේ අපි හැමෝගෙම එකම අරමුණ වුණේ ඔවුන්ගේ ජීවිත බේරාගැනීම.

2005 මැයි මාසයේ පළ කරපු එක් වාර්තාවකට මම “Sleepless nights awaiting fateful Fridays” කියල හෙඩිමක් දැම්ම බව තාමත් මතකයි. ඒක මාධ්‍ය සිරස්තලයක් විතරක් නෙවෙයි. ඒක තමයි ඔවුන්ගේ ජීවිත ගැන තිත්ත ඇත්ත.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක රන්ජිත් ලගේ ජීවිත බේරගන්න අවංක උත්සහයක් දරන්නේ නැහැ කියල රන්ජන් රාමනායකට ඒ වෙලාවේ විවේචනයක් තිබුන. "මල්ලි උඹ ජනාධිපති කාර්යාලය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණයක් කරපන්" කියල අගමැති මහින්ද උපදෙස් දුන්න බව රන්ජන් මට කිවුව.

ඒත් ජනාධිපති වුණාට පස්සේ එහෙම කියපු මහින්දත් වෙනස් වුනා.

"ඕව ගැන කතා කරලා සවුදි ආණ්ඩුවත් එක්ක ප්‍රශ්න හදාගන්න බැහැ," කියල ජනාධිපති මහින්ද කියපු බවත් ඊට පස්සේ රන්ජන් මට කිවුව. දේශපාලකයින් ගැන තිත්ත ඇත්ත එකයි.

බලය නැති කාලේ සහ බලය තියන කලේ ඔවුන් හැසිරෙන්නේ දෙවිදියකට.

කොහොම හරි ඔය විදියට කාලය ගලාගෙන ගියා.

එදා 2007 පෙබරවාරි 19 වෙනිදා. 

ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදත් සිකුරාදාවක්.

මම කලිනුත් කිවුව වගේ, ඒ කාලේ ස්මාට් ෆෝන් වත්, ෆෙස්බුක්වත්, ටික ටෝක්වත්, ට්විටර්වත්, ඉන්ස්ටග්‍රම්වත් තිබුනේ නැහැ. අපිට නිව්ස් ලැබුනේ AFP, Reuters වගේ ඒජන්සිවලින්. නැත්නම් අපේ වාර්ත්කාරුවන් දුරකතනයෙන් දෙන වාර්තාවලින්.

මම ඔෆිස් එනකොටම සෞදි අරාබියෙන් නරක ආරංචියක් ලැබිල තිබුන.

"රංජිත් මරල දාල සරෝජ්," කියල සහෝදර මාධයවේදී එම් ජේ ආර් ඩේවිඩ් කිවුව.

මම මොහොතකට ගල් ගැහුනා.

රංජිත් ද සිල්වා.

වික්ටර් කොරියා.

සනත් පුෂ්පකුමාර.

ෂර්මිල සංගීත් කුමාර ගේ හිස ගසා දාල මරා දාල ඔවුන්ගේ සිරුරු අගනුවර ප්‍රසිද්ධ ස්ථානයක එල්ලලා තිබුන.

මරා දාන්න සතියකට විතර කලිනුත් රංජිත් ද සිල්වා Human Rights Watch සංවිධානය එක්කත් දුරකථනයෙන් කතා කරලා තිබුණා. ඔහු එදාත් තමන්ට සමාව ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් ඉඳල තිබුන.

අවුරුදු කිහිපයකට පස්සේ තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවිතය සෞදි අරාබියේ මරණ දඬුවමක් ඉදිරියේ තිබුණා.

ඇය රිසානා නාෆීක් ...

රිසානාගේ කතාව ශ්‍රී ලංකාවම දන්න කතාවක්.

2005දී සෞදි අරාබියේදී ඇය බලාගත්ත ළදරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත්තා. ඒ වෙනකොට ඇයගේ වයස අවුරුදු 17යි.

2007දී මරණ දඬුවම නියම වෙලා, අවුරුදු ගණනක් ඇය මරණයෙන් බේරෙන්න උත්සහ කළා.

ඇය බේරාගන්න ශ්‍රී ලංකා ආණ්ඩුවත්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානත්, වෙනත් පාර්ශ්වයනුත් විශාල උත්සාහයක් ගත්තා.

රංජන් රාමනායක වගේම අපිත් ඒ උත්සහයට එකතු වුණා. මට මතකයි බ්‍රිතාන්‍යයේ වත්මන් රජතුමා, ඒ කාලේ චාල්ස් කුමාරයා, පවා මැදිහත්වීමක් කළ බව.

අපි බලාපොරොත්තු වුණේ සවුදි ආණ්ඩුවේ ඉහළම මැදිහත්වීමකින් රිසානාට සමාවක්.

නමුත් 2013 ජනවාරි 9 වැනිද ඒ බලාපොරොත්තුවත් අවසන් වුණා.

අද, අවුරුදු විසි එකකකට පස්සේ, සිවරාසා අනෝජන් කියල තවත් ශ්‍රී ලාංකිකයෙක් ඒ ඉරණමට මුහුණ දීල ඉන්න වෙලාවක, ඒ දවස්වල රන්ජිත් ගේ කෝල් මට ආයෙත් මතක් වෙනවා.

රංජිත් ද සිල්වා… වික්ටර් කොරෙයා, ... සනත් පුෂ්පකුමාර ...  සංගීත් කුමාර ... රිසානා නාෆීක්…

සහ අද…

සිවරාසා අනෝජන්.

මේ ලෝකේ කිසිම කෙනෙකුට, ආණ්ඩුවකට හෝ අධිකරණයකට පවා .. තවත් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන්න අයිතියක් තියෙනව කියල මම විශ්වාස කරන්නේ නැහැ.

බුදු දහමෙන් පෝෂණය ලැබුවයි කියන සමාජයක පවා ... මරණ දඩුවම් ක්‍රියාත්මක විය යුතුයි කියන හඬ වරින්වර මතුවෙනවා යට යනවා අපි දකිනවා. හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වතාවක් මරණ දඬුවම ආයෙත් ගේන්න උත්සහ කළා. නමුත් කිසි ලෙසකින් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති අනුර දරන ස්ථාවරය මම ඉහළින්ම අගය කරනවා.

නමුත් අපි එතනින් නැවතිය යුතු නැහැ. මරණ දඩුවම ලංකාවේ නීති පොතෙන් අතුගා දැමිය යුතුයි. ක්‍රියාත්මක නොවන නීතියක් නීති පොතේ තියාගෙන ඉඳල වැඩක් නැහැ.

මේ සටහන තියද්දි ...

"අපිව බේරගන්න සරෝජ් මහත්තයා ..." කියල බැගෑපත්ව ඉල්ලපු රංජිත් ගේ කට හඬ මට ආයේ, ආයෙත් මතක් වෙනව.

මාධ්‍යවේදියෙක් විදියට මට කළ හැකිව තිබුණේ ඔවුන්ගේ කතාව ලෝකයට කියන එක; බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන එක; හඬක් නැති මිනිසෙකුගේ හඬක් තවත් මිනිසුන්ට ඇහෙන්න සලස්වන එක.

සිවරාසා අනෝජන් බේරා ගැනීම සඳහා දියත්වෙලා තියන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමයට බාධාවක් නොවෙන ආකාරයට අපට හැකි ආකාරයෙන් එයට මැදිහත්වීම සහ දිරි දීම අපි හැමෝගෙම වගකීම කියල මට හිතෙනවා.

saroj pathirana

| සරෝජ් පතිරණ

2026 සැප්තැම්බර් 26

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image