මිනිස් තෙරපුමක දී දිවි රැක ගන්නේ කෙසේ ද? සෝල් ඛේදවාචකයේ පාඩම් (VIDEO)

සිම් සහ ඔහුගේ බිරිය, දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි එක්තරා අවමංගල්‍ය ශාලාවක සිය ජීවිතයේ දුෂ්කර ම මොහොතක් ගත කරමින් සිටියා. ශාලාවේ එක් කුටියක ඔවුන්ගේ 28 හැවිරිදි පුත්‍රයා ජේම්ස් සිම්, සමාදානයේ සැතපී සිටි අතර, අනෙක් කුටියේ ඔහුගේ මිතුරා තැන්පත් කර තිබුණා. ජේම්ස් ගේ පෙම්වතිය සඳහා වෙන් කළ අවමංගල්‍ය ශාලාව පිහිටා තිබුණේ නගරයේ වෙනත් අන්තයක යි.

මේ තිදෙනා ම තවත් මිතුරන් දෙදෙනකු සමඟ පසුගිය ඔක්තෝබර් 29 වැනිදා රාත්‍රියේ සෝල් නුවරට අයත් ඉටෙවොන් ප්‍රදේශට ගොස් තිබුණා. ඒ හැලොවීන් උත්සවයකට සහභාගී වීම සඳහා යි. කෙසේ නමුත්, එදින ඉටෙවොන් ආශ්‍රිත ව සිදු වූ අධික මිනිස් තෙරපුම නිසා මිතුරන් පස් දෙනාගෙන් තිදෙනෙක් ම ජීවිතක්ෂයට පත් වුණා.

සෝල් නුවර සිදු වූ අධික මිනිස් තෙරපුම සුවිශේෂී සහ දුර්ලභ වාතාවරණයක් තුළ සිදු වූ ඛේදවාචකයක් ලෙස හැඳින්විය හැකි යි. ආගමික උත්සව සහ ඇතැම් තරගාවලි අතරතුර සිදු වූ මිනිස් තෙරපීම් ගැන කොතෙක් වාර්තා වුණත්, හැලොවීන් වැනි උත්සවයකට ඒකරාශී වන පිරිසක ගෙන් මෙවැනි තත්ත්වයක් එරට ආරක්ෂක අංශ අපේක්ෂා කළේ නැහැ. අනතුරින් සිදු වූ මරණ ගණන 150 කට අධික බැවින්, උත්සව අවස්ථාවක ක්‍රියාත්මක විය යුතු පිරිස් කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා පවා එල්ල වුණා.

 

| අනතුර සිදු වූ ස්ථානය – www.bbc.com/news

අනතුරක සේයාවක්

ඉටෙවොන්, ස්වභාවයෙන් ම පටු වීදි සහ මංතීරු සහිත ප්‍රදේශයක් බව පැවසෙනවා. උත්සව අවස්ථා පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රසිද්ධියක් උසුලන නිසා එම පරිසරයට සරිලන පරිදි ව්‍යාපාරික ස්ථානත් අධික ව පැතිරී තිබෙනවා. සරලව ම ඉටෙවොන් හි පටු වීදිවලට අති විශාල ජනකායක් එක්රැස් වීම යනු මරණයට අත වැනීමක් පමණ යි!

 “ඒක මහ පිස්සුවක්! හවස පහේ ඉඳන් මිනිස්සු සෑහෙන ගණනක් වීදිවලට එක්කහු වෙන්න පටන් ගත්තා. රෑ හත අට වෙද්දී සෙනඟ තත්ත්වය කොහොම වේවිද කියලා මට හිතුණා.”

ඉන්දියාවේ සිට සංක්‍රමණය වූ නුහිල් අහමඩ්, ඛේදවාචකයේ ආරම්භය දැක තිබුණේ එලෙසින්.

මීට පෙර ඉටෙවොන් ප්‍රදේශයේ හැලොවීන් සාදවලට ඔහු සහභාගී වී තිබුණ ද මෙවර තත්ත්වය බොහෝ වෙනස් බව නුහිල් ගේ අදහස යි.

ප්‍රථම ඇමතුම

දෛවෝපගත සංසිද්ධියක් මෙන් 2022 වර්ෂයේ ඉටෙවොන් පෙදෙසේ හැලොවීන් සැමරීම සඳහා විශාල තරුණ ජනකායක් ඇදෙමින් තිබුණා. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇරඹුණු පීඩාකාරී කාලපරිච්ඡේදය අවසාන කිරීමෙන් පසු අගනුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ප්‍රධාන පෙළේ උත්සවයක් මඟ හැරීමට ඔවුන් සූදානම් වුණේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් ඉටෙවොන් වීදි අසාමාන්‍ය ලෙස ජනාකීර්ණ වූ නිසා ඇතැමුන්ට අනතුරක සේයාවක් ද දැනුණා. සමාජ මාධ්‍ය හරහා හැලොවීන් සැමරුමට පැමිණීම එතරම් යෝග්‍ය නොවන බවට වූ පණිවිඩ පැතිරුණේ ඒ නිසා යි.

| මරණ විශාල ගණනක් සිදු වූ පටු මංතීරුව – www.thestar.com.my

ඛේදවාචකය සිදු වීමට පැය කිහිපයකට පෙර එනම්, පස්වරු 06.34 ට පමණ පොලිසියට තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රථම ඇමතුම පැමිණුනා.

“ඔය මංතීරුව ඇත්තටම භයානකයි! දැනටමත් සෙනඟ එහෙ මෙහෙ යන නිසා මිනිස්සුන්ට පහළට එන්න බැහැ. මිනිස්සු දිගට ම එන එකත් නවතින්නේ නැහැ. මං අමාරුවෙන් එළියට එන්න හැදුවත් තෙරපුම වැඩි යි. මම හිතන්නේ ඔයා මේ සෙනඟ පාලනය කරන්න ඕනෑ.”

ඇමතුම්කරු ගේ අනතුරු ඇඟවීම තේරුම් ගැනීම සඳහා අදාළ පොලිස් නිලධරයා යම් උත්සාහයක් දරා තිබුණා. මිනිසුන් තැලී පොඩිවෙන තරම් විශාල අනතුරක සේයාවක් තිබේදැ යි නිලධාරියා ඇමතුම්කරුගෙන් විමසා තිබුණේ ඒ නිසා යි.

“ඔව්! නමුත්, දැනට තත්ත්වය සන්සුන්.”

පොලිස් නිලධාරියා තත්ත්වය පරීක්ෂා කිරීමට පොරොන්දු වූ නමුත්, සැලකිය යුතු මට්ටමේ මැදිහත්වීමක් පැය ගණනක් යනතුරුත් සිදු කර තිබුණේ නැහැ.

පස්වරු 08.53

බලධාරීන් පවසන පරිදි එදින හැලොවීන් උත්සවය සංවිධානය කළ ප්‍රදේශය ආශ්‍රිත ව පොලිස් නිලධාරීන් 137 දෙනෙක් රාජකාරියේ යෙදී තිබුණා. සුළු කාලයක් ඇතුළත විදීවලට ඒකරාශී වූ දහස් ගණනක සෙනඟ හමුවේ අනුයුක්ත කර තිබූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව කිසිසේත් ම ප්‍රමාණවත් වූයේ නැහැ. ඉදිරි පැය තුනහමාර ඇතුළත ප්‍රදේශයෙන් අවම වශයෙන් හදිසි ඇමතුම් දහයක් පමණ පොලිසියට ලැබී තිබුණා.

| මිනිස් තෙරපුමේ මරණීය අවස්ථාව එළඹීමට මත්තෙන් පොලිසියට හදිසි ඇමතුම් ලැබුණු අයුරු – www.bbc.com/news/world

පස්වරු 08.53 වනවිට පැමිණි ඇමතුමෙන් ඉටෙවොන් හි සමාජ ශාලාවක් අසල මංතීරුවේ ඇති ව තිබූ භයානක තත්ත්වයක් විස්තර වුණා.

“මාව තැළෙන්න යනවා වගේ දැනෙනවා. ගොඩක් අය පොඩි පට්ටම් වෙනවා. එන්න එන්නම තත්ත්වය දරුණු වෙන්නයි යන්නේ. අනේ අපිට උදව් කරන්න!”

පොලිසිය  නැවතත් එතරම් ක්‍රියාත්මක වූ බවක් පෙනී ගියේ නැහැ. මාධ්‍ය වාර්තාවලට අනුව එලෙස පැමිණි ඇමතුම් එකොළහකින් ඇමතුම් හතරක් සඳහා පමණක් පොලිසිය ක්‍රියාත්මක වී තිබුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් වන පොලිස් නිලධාරීන් ගණන ඔවුන් ඒ වනවිටත් අවබෝධ කරගෙන සිටියේ නැහැ.

| මරණීය තෙරපුම – www.bbc.com/news/world-asia

අවසාන ඇමතුම

අවසාන ඇමතුම පැමිණෙන විට රාත්‍රී දහය පසු වී තිබුණා. එය ඉතා කෙටි ඇමතුමක්.

“මෙතැන මිනිසුන් තැලිලා පොඩිවෙලා යන්න පුළුවන් කියලා මට හිතෙනවා.”

රාත්‍රී 10.15 වනවිට බෑවුම් සහිත ඉටෙවොන් මංතීරුවක සිටි මිනිසුන් ගණනාවක් සමබරතාව ගිලිහී එකාමත එකා පෙරළී ගියා. මංතීරුව මායිම් වන දෙපස වීදී දෙකත් සෙනඟින් පිරී ගොස් තිබූ නිසා අතරමැදි මංතීරුවේ මිනිසුන්ට පිටවීමේ කිසිදු අවකාශයක් තිබුණේ නැහැ. තත්ත්වය කොතරම් දරුණු වුණා ද කිවහොත්, මංතීරුවේ සිරවී සිටි ඇතැම් මිනිසුන් දෙපස ගොඩනැඟිලි තරණය කොට බේරී යෑමටත් උත්සහ කළා. සමාජ මාධ්‍ය හරහා මිනිස් තෙරපුම අතරතුර ගන්නා ලද විඩීයෝ සංසරණය වීම ඇරඹුණු අතර, නොවැලැක්විය හැකි ඛේදවාචකයක් දෙස බලා සිටීමට නගරවාසීන්ට සිදු වුණා.

“මිනිසුන් පිටුපසට තල්ලු කරන්න පටන් ගත්තා. ඒක හරියට නිකම් තරංගයක් වාගේ යි. ඔබට කළ හැකි කිසිවක් නැහැ. මිනිස්සුන් ගේ හුස්ම හිරවෙනවා, කෑගහනවා, මිරිකෙනවා, වැටෙනවා. ඒ තරමට සෙනඟ හිටියා.”

මිනිස් තෙරපුමට හසු වී දිවි බේරාගත් අහමඩ්, සිය අත්දැකීම් විස්තර කළේ එලෙසින්.

රාත්‍රී එකොළහ පමණ වනවිට පැමිණ තිබූ ගිලන් රථවලට අමතර ව තවත් ගිලන් රථ 30 ක අවශ්‍යතාවක් මතු වුණා. ජාතික ආපදා වෛද්‍ය ආධාර කණ්ඩායම් සියයකට අධික ගණනක් ඛේදවාචකය සිදු වූ ස්ථානයට පැමිණ තිබුණා.

වැදගත් ම සාධකය “ඔක්සිජන්”

සෝල් නගරයේ සිදු වූ අධික මිනිස් තෙරපුමේ විශේෂත්වය වන්නේ එය විවෘත පොදු ස්ථානයක සිදු වීම යි. සාමාන්‍යයෙන් අධික මිනිස් තෙරපුම් හේතුවෙන් ඛේදවාචක සිදු වූ ආගමික සිද්ධස්ථාන, ක්‍රීඩාංගණ, සමාජ ශාලා, පොදු අවකාශයෙන් වෙන් වූ ස්ථාන ලෙස හැඳින්විය හැකි යි. එවැනි ස්ථාන වල ඇතුළුවීම සහ පිටවීම විධිමත් කොට ඇති බැවින්, තෙරපුමක් සිදුවීමේ අවදානම මතු වූ විගස විශාල අනතුරක් සිදු වෙනවා. ඉටෙවොන් යනු සෝල් නුවර පිහිටි විවෘත ප්‍රදේශයක්. එවැනි ස්ථානයක විශාල ජනකායක් එක්රැස් වුව ද අධික මිනිස් තෙරපුමක් සිදුවීමේ සම්භාවිතාව‍යට වඩා එය වලක්වා ගැනීමේ හැකියාව ඉතා ඉහළ යි.

| හදිසි ආපදා සේවාවන් ළඟා වනවිට සැළකිය යුතු හානියක් සිදු වී අවසන් – www.rnz.co.nz/news/world

කෙසේ නමුත්, පස්වරු පහේ සිට අධික මිනිස් තෙරපුමක් සිදු වීම සඳහා වූ පරිසරය ක්‍රම ක්‍රමයෙන් නිර්මාණය වුණා. එය හඳුනා ගැනීමේ හැකියාවක් සාමාන්‍ය ජනතාවට හෝ පොලිසියට තිබුණේ නැහැ. කිසියම් දෙයක් වැරදී ඇති බව වැටහුණේ කිහිප දෙනකුට පමණ යි. ඔවුන් පොලිසියට ඇමතුම් ලබා ගනිමින් තත්ත්වය පැහැදිලි කළ ද ප්‍රදේශයේ උත්සව කාලසීමාවේ ස්වභාවය දන්නා පොලිස් නිලධාරීන් එය බැරෑරුම් දෙයක් ලෙස සැලකුවේ නැහැ.

“අධික තදබදය, කළමණාකරණය නොකළ සෙනඟ සහ පුළුල් මාර්ග වල සිට වඩාත් පටු මාර්ග කරා මිනිසුන් අධික ව පැමිණීම, වැනි හේතූන් තමයි මෙවැනි ව්‍යසන ඇති වීමට බලපාන වට්ටෝරුව වෙන්නේ. මේ සියලු සාධක ඉටෙවොන් ප්‍රදේශයේ දක්නට ලැබුණා.”

ග්‍රීන්විච් විශ්වවිද්‍යාලයේ සමූහ හැසිරීම් පිළිබඳ විශේෂඥයෙක් වන මහාචාර්ය එඩ්වින් ගාලියා පවසනවා.

ඔහුට අනුව ජන ඝනත්වය වර්ග මීටරයකට පුද්ගලයන් ගණන 4 සිට 6 දක්වා ඉහළ ගියහොත්, මාරාන්තික මිනිස් තෙරපුමක් සිදුවීමේ හැකියාව ඉහළ යනවා. මිනිස් තෙරපුමක දී මිනිසුන් බොහෝ විට මිය යන්නේ තුවාල සිදුවීමෙන් නොවෙ යි. ශරීරයට සෑම දිශාවකින් ම එල්ල වන අධික පීඩනය නිසා අභ්‍යන්තර අවයවවලට ඔක්සිජන් හෝ රුධිර සැපයුම අඩාල වීමෙන් මරණ සුලබ ව සිදු වෙනවා.

| මිනිස් තෙරපුමක දී ජන ඝනත්වය බලපාන ආකාරය – twitter.com/skepticalspice

පීඩනයේ තරම

යෝර්ක් විශ්වවිද්‍යාලයේ ආපදා සහ හදිසි අවස්ථා සම්බන්ධ අලී ඇස්ගරි, අධික මිනිස් තෙරපීම්වලින් සිදු වූ අනතුරු කිහිපයක් අධ්‍යයනය කර තිබෙනවා. එලෙස අධ්‍යයනයට ලක් වූ ඇතැම් සිදුවීම්වල දී හට ගත් අධික තෙරපුම නිසා අනතුර සිදු වූ ස්ථානයේ ඇති ලෝහ වැටවල් ඇඹරී ගිය අවස්ථා පවා ඔහුට හමු වී තිබෙනවා. ලෝහ වැටකට එවැනි ඉරණමක් අත් වීම සඳහා වර්ග අඟලකට රාත්තල් දහසක පමණ පීඩනයක් අවශ්‍ය වන බව ඇස්ගරි අනුමාන කරනවා. එතරම් විශාල තෙරපුමකට මැදි වූ මිනිසකු ගේ ඉරණම අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. සෝල් නුවර ඛේදවාචකයේ වින්දිතයන් ලද වේදනාවත් එතරම් ම ප්‍රබල යි!

 “ඒක හරියට නිකම් දියේ ගිලෙනවා වාගේ යි. ඔබට කළ හැකි කිසිවක් නැහැ. මිනිසුන් තුන් හතර දෙනෙකු ඔබගේ සිරුර මත සිටිනවා නම්, බලාපොරොත්තු සුන් වූ හැඟීමක් ඇති වෙනවා.”

ඒ ඇස්ගරි ගේ වචන යි.

පිරිස් කළමනාකරණය

ඕනෑම හදිසි ආපදාවක හානිය අවම කරගත හැකි ප්‍රථම පියවර වන්නේ පූර්ව ආරක්ෂිත පියවර ගැනීම හෝ අනතුර පිළිබඳ ව අවධානයෙන් සිටීම යි. දකුණු කොරියා පොලිසියේ ප්‍රමාද වීම හැරුණු කොට අනතුර ගැන විමසිලිමත් වූ කිහිප දෙනෙක් සිටි බව නිලධාරීන්ට ලැබුණු ඇමතුම් හරහා ඔප්පු වෙනවා.

මිනිස් තෙරපුමක දී අනතුරක සේයාවක් ඉස්මතු වීමට මත්තෙන් අනුගමනය කළ හැකි පූර්ව ආරක්ෂිත පියවර වන්නේ පිරිස් කළමනාකරණය යි. විශාල පිරිසක් ඒකරාශී විය හැකි උත්සව අවස්ථාවක් හෝ වෙනත් මහා පරිමාණ පුද්ගල ඒකරාශී වීමක දී සංවිධායක මණ්ඩලය පිරිස් කළමනාකරණය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නම් මෙවැනි අනතුරු වලක්වා ගත හැකි යි.

| ව්‍යසනය අතරතුර නැති වූ භාණ්ඩ ක්‍රීඩා මධ්‍යස්ථානයක් තුළ එකතු කර ඇති අයුරු – www.theguardian.com/world

පිරිස් කළමනාකරණය එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවන බව එංගලන්තයේ සෆොල්ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කීත් ස්ටිල් පවසනවා. මහා පරිමාණ ජන ඒකරාශී වීමක් අපේක්ෂා කරන ඕනෑම අවස්ථාවක් සඳහා අංග කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පිරිස් කළමනාකරණය සඳහා සැලැස්මක් ගොඩනැඟිය හැකි බව ඔහු ගේ අදහස යි. ජන ඒකරාශී වීම සඳහා සීමාවක් පැනවීම, භාවිත කළ යුතු මාර්ග සැලැස්ම, ප්‍රදේශයේ ස්වභාවය, ප්‍රදේශය තුළ පුද්ගල සංචරණයේ ස්වභාවය, වරින් වර ජන ඝනත්වයේ වෙනස් වීම් නිරීක්ෂණය කිරීම, වැනි අංග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමෙන් මෙවැනි ඛේදවාචක වලක්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා.  

තෙරපුමක දී දිවි රැක ගන්නේ කෙසේ ද?

මෙවැනි පිරිස් කළමනාකරණයක් නොමැති උත්සව අවස්ථාවකට යමෙක් සහභාගී වූවායැ යි උපකල්පනය කරමු. එවිට අනතුර ගැන පූර්ව සංවේදීතාවක් සහිත ව හැසිරීම ඉතා වැදගත්. එනම්, දැනට පවත්නා තත්ත්වය සහ එහි වෙනස් වීම ගැන අවබෝධයෙන් සිටින පුද්ගලයෙක් මිනිස් තෙරපුමක වින්දිතයෙක් වන්නේ නැහැ. උත්සව භූමියකට පැමිණි විගස පිටවීමේ මාර්ග පිළිබඳ අවබෝධයෙන් සිටීමත් ආරක්ෂිත පියවරක් විය හැකි යි.

| තෙරපුමක දී සෙනඟ ඇද වැටෙන ආකාරය – twitter.com/skepticalspice

මිනිස් තෙරපුමකට මැදි වූ පුද්ගලයෙක් ගැන සිතමු. එවැනි අවස්ථාවක අනතුරුදායක භූමියෙන් පිටවීම සඳහා ඇත්තේ සාමාන්‍ය ප්‍රවේශ මාර්ගයක් නම් සියල්ල පරයා ඒ වෙත ළඟා වීමට උත්සහ කිරීමෙන් හෝ පෙරමුණ ගැනීමට උත්සහ කිරීමෙන් තත්ත්වය බැරෑරුම් විය හැකි යි. එවැනි දුෂ්කර අවස්ථාවක පවා තමා සිටින තත්ත්වය ගැන අවබෝධයෙන් සිටීම වැදගත්. මිනිස් තෙරපුමක දී වින්දිතයන් විජලනයට පත් විය හැකි අවස්ථා රාශියක් තිබෙන බැවින්, වතුර බෝතලයක් සන්තකයේ තබා ගැනීම මහෝපකාරී වේවි.

අනුගත වෙන්න!

සමූහයක් තුළ සිර වී සිටින විට එල්ල වන තල්ලුව හෝ පීඩනය හමුවේ තමාව ස්ථාවර කර ගැනීමට උත්සහ කිරීමෙන් සමබරතාව සහ ශරීර ශක්තිය ගිලිහී යා හැකි යි. තෙරපුමක දී සෙනඟ “තරලයක්” මෙන් ක්‍රියා කිරීම ඊට හේතුව යි. ස්වයං පාලනයක සිටිමින් සෙනඟට එරෙහි ව ස්ථාවර ව සිටීම තවදුරටත් පලක් ඇති ක්‍රියාවක් නොවන බැවින්, අන් අය අනුගමනය කිරීම හෝ ප්‍රවාහයට අනුව ගමන් කිරීම වඩාත් යෝග්‍ය වන බව විශේෂඥයන් නිර්දේශ කරනවා.

වෙහෙසට පත් නොවී ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය ඉතිරි කර ගැනීම සහ හුස්ම ගැනීමට අවශ්‍ය ශරීර පෙදෙස හැකි උපරිමයෙන් ආරක්ෂා කර ගැනීම එහි අරමුණ යි. මෙවැනි අවස්ථාවක බොහෝ දෙනෙක් සෙනඟ තල්ලු කිරීමට පෙලඹෙනවා. එය භයානක ක්‍රියාවක්. අනතුරෙන් ගැලවිය හැකි අවස්ථාවක් එනතුරුම වින්දිතයා සිතිය යුත්තේ තම ශරීර ශක්තිය රැකගත හැකි අන්දම පමණ යි.

අනතුරෙන් හටගත් මානසික කම්පන තරංගය තවමත් සෝල් නුවර පුරා ගමන් කරමින් තිබෙනවා -www.christianpost.com/news

සෝල් නුවර හැලොවීන් ඛේදවාචකයේ උණුසුම කෙමෙන් කෙමෙන් ගිලිහෙන අවධියකයි මෙම ලිපිය පළ වන්නේ. එහෙත්, අනතුරෙන් හට ගත් මානසික කම්පන තරංගය තවමත් සෝල් නුවර පුරා ගමන් කරමින් තිබෙනවා. මෙවැනි අනතුරක් ලෝකයේ ඕනෑම ස්ථානයක සහ ඕනෑම මොහොතක සිදු විය හැකි යි.

එවැනි අනතුරක වින්දිතයෙක් වීමේ අවදානමත් ඕනෑම කෙනකු හමුවේ තිබිය හැකි යි. සෝල් නුවර හැලොවීන් ඛේදවාචකය පසුබිම් කර ගනිමින් මෙම හදිසි ආපදා ආකාරය තරමක් ගැඹුරට විමසා බැලිමට අප උත්සහ කළේ ඒ නිසා යි.

සංවේදී දර්ශන සහිත යි – https://www.youtube.com//Skytop 24

කවරයේ ඡායාරූපය: මෑත කාලයේ දකුණු කොරියාව තුළ සිදු වූ විශාලත ම ව්‍යසනයක් ලෙස මෙම හැලොවීන් අනතුර හැඳින්විය හැකි යි - worldnewsera.com

මූලාශ්‍ර: www.christianpost.com, www.theguardian.com/world, www.rnz.co.nz/news/world, www.bbc.com/news/world

(Milan Perera - roar/media)