කළුතර  ශික්ෂණ රෝහලේ හෘද කැතීටරකරණ ඒකකය සති 06 තිස්සේ අකර්මණ්‍යයි - පොරොත්තු ලේඛණය මාස 8ක්

කළුතර  ශික්ෂණ රෝහලේ හෘද කැතීටරකරණ ඒකකය සති 06 තිස්සේ අකර්මණ්‍යයි - පොරොත්තු ලේඛණය මාස 8ක්

කළුතර ශික්ෂණ රෝහලේ ස්ථාපනය කර තිබෙන හෘද කැතීටරකරණ  යන්ත්‍රය පසුගිය මැයි මස 20 වෙනිදා අක්‍රිය වීම සිදුවූයේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙනි. ඇතිවූ වායු සමීකරණ පද්ධතියේ දෝෂය පසුව නිවැරදි කිරීම සිදු වුවත් හෘද කැතීටරකරණ  යන්ත්‍රයෙහි හටගත් දෝෂය හේතුවෙන් මේ වනවිට එහි සිදු කරන සියලු පරීක්ෂණ අඩාල වී ඇත.

විශේෂයෙන්ම හෘදයට රුධිරය සපයන රුධිර නාලවල(කිරීඨක ධමනි වල ) අවහිරතා හඳුනා ගැනීම සඳහා සිදුකරන ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සහ එම දෝෂ නිවැරදි කිරීම සඳහා සිදුකරන ස්ටෙන්ට් යෙදීමේ  ප්‍රතිකාරය සහ හෘද කපාට වල දෝෂ හඳුනාගැනීම සහ ඒවා නිවැරදි කිරීමට අදාළ ප්‍රතිකාර සිදුකිරීම මෙම හෘද කැතීටරකරණ  යන්ත්‍රය මගින් සිදු කරනු ලබයි.

ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය තුළ මෙවැනි හෘද කැතීටරකරණ යන්ත්‍ර 14ක් ස්ථාපනය කර තිබෙන අතර ඉන් මහනුවර ජාතික රෝහලේ එක් යන්ත්‍රයක් ද දීර්ඝ කාලයක් තිස්සේ බිඳ වැටීඇත.ඒ අනුව මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනුයේ යන්ත්‍ර 12ක් පමණි.

කළුතර ශික්ෂණ රෝහලේ මෙම යන්ත්‍රය 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ස්ථාපනය කොට පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු ආරම්භ කළ අතර ඉතා විශාල රෝගීන් ප්‍රමාණයකට ප්‍රතිකාර සිදුකිරීම මෙම ඒකකයේදී සිදුකෙරිණි. 2024 ඔක්තෝබර් මාසයේදී මෙම යන්ත්‍රයේ වගකීම් කාලය (Warranty Period) අවසන් වූ අතර ඉන් අනතුරුව මේ වනතෙක් මෙම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් (Service Agreement) යාවත්කාලීනවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශ විසින් සිදුකොට නොමැත. මෙසේ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම හේතුවෙන් පසුගිය කාලය පුරාම සිදු වූ බිඳ වැටීම් නැවත යථාවත් කිරීම සඳහා ඉතා වැඩි කාලයක් ගතවූ අතර මේ හේතුව නිසා වරින් වර රෝගී ප්‍රතිකාර කටයුතු අඩාල වීම සිදුවිය.

මෙම වගකීම් කාලය අවසන් වීම සහ සේවා ගිවිසුම් ගතවීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලු බලධාරීන් 2024 වසරේ ඔක්තෝබර් මාසයට පෙර සිට මෙම රෝහලේ නිලධාරීන් විසින් ලිඛිතව සහ වාචිකව අවස්ථා විශාල ප්‍රමාණයකදී දැනුවත් කිරීම සිදුකොට ඇත. කෙසේ නමුත් මේ පිළිබඳව දැනුවත් කිරීම සිදුකළද මෙම ගැටළුව සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් මේ වන තෙක් සිදුකොට නොමැති වීම බරපතල ගැටලුවක් වී ඇත.

හෘද රෝගීන් සඳහා මෙම ඒකකයෙන් ප්‍රතිකාර සහ පරීක්‍ෂණ සිදු කර ගැනීම සඳහා මේ වන විට මාස අටකට වැඩියි පොරොත්තු ලේඛනයක රැඳීමට සිදුව ඇති අතර මේ ආකාරයෙන් යන්ත්‍රය වරින් වර බිඳ වැටීම සහ නැවත යථාවත් වීම ප්‍රමාද වීම හේතුවෙන් පොරොත්තු ලේඛන ගතව සිටින රෝගීන් සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට ලක්ව ඇත.

මෙම ගැටලුව පිළිබඳව කඩිනම් අවධානය යොමු කොට ඉතා සීමිත  පහසුකමක් සහ අත්‍යාවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන හෘද කැතීටරකරණ ඒකකයෙහි බිඳ වැටීම ඉතා ඉක්මනින් නැවත යථාවත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නලින්ද ජයතිස්ස ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියි.

චානක ධර්මවික්‍රම

සභාපති

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය