උපාධිධාරීන් 10,000කට රාජ්‍ය සේවයේ ස්ථිර රැකියා වරම්

උපාධිධාරීන් 10,000කට රාජ්‍ය සේවයේ ස්ථිර රැකියා වරම්

අභ්‍යාසලාභි උපාධිධාරීන් 10,000ක් 22 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කරයි. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ විමසීමකට ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ,

“රජයක් ලෙස අපේ දැක්ම උගත් තරුණ පිරිස මේ රටේ සංවර්ධනයට සෘජුව දායක කර ගැනීමයි. මේ සඳහා තමයි අපි උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට පියවර ගත්තේ. ඒ වගේම යහපාලන රජය බඳවා ගත් 14000ක් පමණ වන උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් දස දහසක පිරිසක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ කටයුත්ත අද සිට අපේ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනවා. මේ අයගේ අභ්‍යාසලාභී කාලය අවසන් වී තිබුණත් පවතින කොරෝනා වසංගත තත්ත්වය තුල මේ අය ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තිබුන සැලැස්ම අපට අවශ්‍ය පරිදි සිදුකරන්න බැරි වුණා. සමස්ත රාජ්‍ය සේවයේම පැමිණීම දැඩිලෙස සීමාකර තිබූ නිසා මේ අභ්‍යාසලාභීන්ගේ තොරතුරු ගෙන්වා ගෙන ඔවුන් සම්මුඛ සාකච්ඡාවකට ගෙනැවිත් ස්ථිර කිරීමට අදාළ පියවර ගැනීමට නොහැකි වුණා.

 
කොහොම වුණත් මේ පැවති තත්ත්වය සමහන් වුන ගමන් යලිත් මේ ස්ථිර කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට අමාත්‍යංශ නිලධාරීන් පියවර ගත්තා. සීමිත මානව සම්පතක් උපයෝගී කරගෙන මේ 10,000 දෙනාගේ ලියකියවිලි සියල්ල ගෙන්වාගෙන මේ වෙනකොට ස්ථිර කිරීමේ කටයුත්ත සාර්ථකව අවසානයක් දක්වා ගෙනැවිත් තියෙනවා. අද (22) සිට මේ පත්වීම් ලිපි දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් බෙදා හැරීම සඳහා පියවර ගෙන තියෙනවා. මාසයක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් විශාල පිරිසකගේ ස්ථිර කිරීම් කටයුත්තක් ලංකා ඉතිහාසයේ කවදාවත් සිදුව නෑ. ඒ සම්බන්ධයෙන් මගේ අමාත්‍යංශයේ ලේකම්තුමන්ටත්, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් අමාත්‍යවරයා ලෙස මාගේ ස්තූතිය පිරිනමන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.

අපි රජයක් විදියට නිතරම උත්සාහ දරන්නේ මේ රටේ උගත් තරුණ ප්‍රජාව රටේ සංවර්ධනයේ සක්‍රීය කොටස්කරුවන් කරගන්නට. එහිදී කිසිඳු දේශපාලන මතවාදයක් සැලකිල්ලට නොගෙන උගත්කම පමණක් මූලික සුදුසුකම විදියට තබා ගෙනයි අපි කටයුතු කළේ. කොහොම වුණත් මේ තරම් දෙයක් කරද්දිත් තමන්ගෙන් ගිලිහෙන දේශපාලන බලය රැකගන්න බාල දේශපාලනයේ නිරත වන පිරිසක් මේ උපාධිධාරියාව තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් භාවිත කරන්නට උත්සාහ කිරීම පිළිකුලෙන් හෙලා දකිනවා.” යැයිද අමාත්‍යවරයා පැවසීය.

මෙලෙස ස්ථිර පත්වීම් ලබන දස දහසක් ඉක්මවූ උපධිධාරීන්ගේ නාම ලේඛනය www.pubad.lk වෙබ් ලිපිනයෙන් දැනගැනීමට හැකියාව ලබා දී ඇති අතර එළඹෙන අප්‍රේල් පළමු වැනිදා සිට අදාළ සේවාස්ථානවලට අදාළ නිලධාරීන් වාර්තා කළ යුතු බව ද රාජ්‍ය සේවා අමාත්‍යාංශය දැනුම් දෙයි.