දෙනවා කිව්ව රු.2000 ආධාරය කෝ? අවිධිමත් ක්ෂේත්‍රයේ කම්කරුවන් රජයෙන් අසයි

දෙනවා කිව්ව රු.2000 ආධාරය කෝ? අවිධිමත් ක්ෂේත්‍රයේ කම්කරුවන් රජයෙන් අසයි

දෙනවා කිව්ව රු.2000 ආධාරය කෝ? රජයේ රුපියල් 2000 ආධාරය නිසියාකාරව නොලැබෙන බව පවසමින් හැටන් අවිධිමත් කම්කරුවන් විරෝධතාවයක....

ඊයේ දින හැටන් ඩ්‍රේටන් ප්‍රදේශයේ සමාජිකයන් විසින් පුවරු ප්‍රදර්ශනය කරමින් වසංගතය හමුවේ තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ආණ්ඩුවට කියා සිටියා. රුපියල් 2000 ලබා දෙන බව ආණ්ඩුව පැවසුවද එය නිසියාකාරව ලබා නොදෙන බව ඔවුන් පවසයි. එසේම මේ මොහොතේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ රු. 2000ක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් අවිධිමත් අංශය වෙනුවෙන් මාසිකව දීමනාවක් ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටියා. දින 10 ක ලොක් ඩවුන් කාලය තුළදී ආදායම් අහිමි වන අයට මෙම දීමනාව ලබා දෙන බව ආණ්ඩුව පැවසුවද එම ලොක් ඩවුන් කාලය මේ වන විට මාසයක් ඉක්මවා දීර්ග කර ඇත. නමුත් තවමත් ලබා දෙන බවට පොරොන්දු වූ රුපියල් 2000වත් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු මාසිකව රජය මගින් සහනාධාරයක් ලැබෙන පිරිස හැර අනෙකුත් අයට රජය විසින් මෙම සහනාධාරය ලබා දෙන බව පැවසුවද එය එසේ සිදු වන බවක් නොපෙනේ. මක් නිසාද යත් සහනාධාරය ලබා ගැනීම සඳහා ආදායම් අහිමි වූවන් ග්‍රාම නිලධාරීන් වෙත ගිය විට ඔවුන් විසින් විවිධාකාරයේ කොන්දේසි ඉදිරිපත් කර ඇත. එම කොන්දේසි අනුව පෙනී යන කාරණයක් වන්නේ මෙම සහනාධාරය රජය මගින් ලබා දෙනවාට වඩා නොදී සිටීමට කටයුතු කරන බවයි.

තවද අප්‍රේල් මාසය සඳහා රජය මගින් සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ලබා දුන් රුපියල් පන්දහසක දීමනාවද ඔවුන්ගේ සමෘද්ධි ඉතුරුම් වලින් කපාගෙන ඇති බවද වාර්තා වේ.  

තවද මෙවැනි වසංගත තත්ත්වයන් සහ විවිධ ආපදා අවස්ථාවන්හිදී ඇතුළු බොහෝ අවස්ථාවන්හිදී තම රැකියා අවිනිශ්චිත සහ අවදානමට ලක් වන අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් ස්ථිර සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස්කරන ලෙසද ඔවුන් මෙහිදී ඉල්ලා සිටී. 

මෙම වසංගත තත්ත්වය හමුවේ දිනෙන් දින බඩු මිලද ඉහළ නංවමින් ජනතාවගේ ආර්ථික තත්ත්වය අවම මට්ටමේ හෝ පවත්වාගෙන යාමට රජය අසමත්ව ඇති බව පෙනේ. එසේම මෙලෙස ඉහල යන ජිවන වියදම හමුවේ රජයක් විසින් මෙලෙස ලබා දෙන රුපියල් 2000 වත් ආදායම් අහිමි වුවන් සඳහා නිසියාකාරව ලබා දිය යුතුය. පෙර අවස්ථා වලදී මෙන්ම වසංගතය අවසන් වන කාලය දන්නේ ආණ්ඩුව බැවින් එතෙක්, මෙම ආදායම් අහිමි වූවන් සඳහා ප්‍රමාණවත් දීමනාවක් මාසිකව ලබා දිය යුතුය. එය රජයේ වගකීමකි. රුපියල් 2000 ක් වැනි මුදලක් ඒ සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, එවැනි දේ වලින් තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. දිනෙන් දින ඉහළ යවන බඩු මෙරට අවිධිමත් අංශයේ කම්කරුවන්ට කිසිසේත් දරාගත නොහැකි වන අතර ඊට විරුද්ධව එම කම්කරුවන් සංවිධානය වෙමින් සිටී.

 

1

2

කල්ප මධුරංග