අනීතික ලෙස වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කිරීමේ උත්සාහයක්

අනීතික ලෙස වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කිරීමේ උත්සාහයක්

 

පාසල් සඳහා වැඩබලන විදුහල්පතිවරු ස්ථිර නොකළ යුතු බවට තීරණ තිබියදී නැවතත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් මගින් සේවා ව්‍යවස්ථාවට පටහැනි ලෙස වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කිරීමේ අනීතික කි‍්‍රයාවලිය නතර කරන ලෙස ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්වන්නේ,

පාසල්වල විදුහල්පති තනතුරුවල රාජකාරි ආවරණය කරන වැඩ බලන විදුහල්පතිවරු ස්ථිර කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් පති‍්‍රකාවක් යොමු කිරීමට කටයුතු කර ඇත. එසේ විදුහල්පති ශ්‍රේණිධාරීන් නොවන ගුරු සේවයේ නිලධාරීන් ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ තනතුරුවල ස්ථිර කිරීම ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව බරපතල උල්ලංඝණය කිරීමකි.

2020.10.24 දිනැති 1885/31 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙන් ප‍්‍රකාශයට පත් කරන ලද ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව විධිමත් තරග විභාගයක් පවත්වා ශී‍්‍ර ලංකා විදුහල්පති සේවය සඳහා නිලධාරීන් පත් කළ යුතුය. එසේ නොමැතිව පාසල්වල විදුහල්පති ධූරයේ වැඩබැලීම මත විදුහල්පති සේවයට නිලධාරීන් පත් කිරීම හෝ ස්ථිර කිරීම කළ නොහැකිය.

පසුගිය රජයන් යටතේ ද විවිධ අවස්ථාවල වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කිරීමේ උත්සාහයන් පැවති අතර, ලංකා ගුරු සංගමය එම කි‍්‍රයාවන්ට දිගින් දිගටම විරෝධය පළ කළ අතර, අධිකරණ කි‍්‍රයාමාර්ගවල පවා නිරත විය. එම අධිකරණ කි‍්‍රයාමාර්ගවලදී තීරණය වූයේ සේවා ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පත්වීම් සිදු නොකළ යුතු බවයි.

2011.12.15 දිනැති 2011/ඊඞී/ඊ/14 අංකයෙන් යුත් අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් මගින් 2010.12.31 දිනට වසර 3 ක් හෝ ඊට වැඩි සේවා කාලයක් විදුහල්පති තනතුරුවල රාජකාරි ආවරණය කළ 2118 ක් විදුහල්පති සේවයට බඳවා ගන්නා ලද අතර, එම අමාත්‍ය මණ්ඩල තීරණයේ පැහැදිලිව සඳහන් කරන ලද්දේ එම බඳවා ගැනීම් පූර්වාදර්ශයක් නොකර ගත යුතු බවත්, 2011 වසරෙන් පසු විදුහල්පති සේවයේ සියලූ බඳවා ගැනීම් සේවා ව්‍යවස්ථාවට අනුව සිදු කළ යුතු බවත්ය. 2011.12.15 දිනැති 2011/ඊඞී/ඊ/14 අංකයෙන් යුත් අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවට එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන, ඛනිජතෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, ජල සම්පාදන හා ජලප‍්‍රවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු අත්සන් කර ඇත. මෙවැනි අමාත්‍ය මණ්ඩල තීරණයක් තිබියදී එම තීරණය ද උල්ලංඝණය කරමින් නැවතත් වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කිරීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් යොමු කිරීම ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය හාස්‍යයට ලක් කිරීමකි.

2009 වසරේ තරග විභාගයක් පවත්වා 2011 වසරේ සහ 2012 වසරේ විදුහල්පති සේවයට නිලධාරීන් බඳවා ගන්නා ලදී. එසේම 2016 වසරේ දී ද, 2019 වසරේ දී ද සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාග පවත්වා විධිමත්ව විදුහල්පති සේවයට බඳවා ගන්නා ලද අතර, 2011 සිට 10000 කට ආසන්න නිලධාරීන් පිරිසක් බඳවා ගන්නා ලදී. මේ තත්වය තුළ මේ වන විට වැඩබලන විදුහල්පතිවරු ලෙස විදුහල්පති තනතුරුවල කටයුතු කරනු ලබන්නේ විධිමත්ව පත් කරන ලද විදුහල්පති ශ්‍රේණිධාරියාට රාජකාරි භාර නොදී විවිධ දේශපාලන බලපෑම් මත සිටින පිරිසකි. පද්ධතිය තුළ විදුහල්පති පුරප්පාඩු තවදුරටත් පවතින්නේ නම් කළ යුත්තේ සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාගයක් පවත්වා විධිමත්ව බඳවා ගැනීම් සිදු කිරීමයි. එසේ නොකොට නීතියේ පාලනය ස්ථාපිත කිරීමට පොරොන්දු දෙමින් බලයට පැමිණි වත්මන් රජය මේ ආකාරයෙන් අනීතික ලෙස කටයුතු කිරීම කනගාටුදායක තත්වයකි.

වැඩබලන විදුහල්පතිවරු ස්ථිර නොකළ යුතු බවට ඉහත ආකාරයේ තීරණ තිබියදී නැවතත් අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් මගින් සේවා ව්‍යවස්ථාවට පටහැනි ලෙස වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කිරීමේ අනීතික කි‍්‍රයාවලිය නතර කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර ඇත.