සෙනසුරාදා ඉරිදා දිනවලත් පරික්ෂණ පවත්වා කම්කරු ආරවුල් බේරුම්කරණ සියල්ල මාස තුනක දි අවසන් කළ යුතුයි

සෙනසුරාදා ඉරිදා දිනවලත් පරික්ෂණ පවත්වා කම්කරු ආරවුල් බේරුම්කරණ සියල්ල මාස තුනක දි අවසන් කළ යුතුයි

 කම්කරුවන් හා වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද විවිධ හේතු හා ඉල්ලීම් මත බේරුම්කරණයට යොමු කර ඇති සියළුම කාර්මික ආරවුල් ඉල්ලීම්වලට අදාල (නඩු) බේරුම්කරණ පරික්ෂණ මින් පසු මාස තුනක් ඇතුලත අවසන් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එසේම මින් ඉදිරියට එම බේරුම්කරණ පරික්ෂණ කොළඹට කැදවීම වෙනුවට ඒ පාර්ශවයන්ට පහසු ප්‍රදේශවල කම්කරු කාර්යාලවල පැවැත්විය යුතු බව ද ඇමතිවරයා අවධාරණය කළේය. කම්කරු ආරාවුල් බේරුම්කරණය සඳහා පත් කළ නව සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා (12) දින කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ පැවති උත්සවයේ දි අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහි දි අභිනව සාමාජිකයන් (23)දෙනෙකුට බේරුම්කරණ සාමාජිකයන් පත් කරනු ලැබීය. දැනට ඒ සඳහා බේරුම්කරණ සාමාජිකයන් (19)දහනව දෙනෙකු සිටී.

මේ වනවිට එම බේරුම්කරණ පරික්ෂණ 220 ගොනු කර ඇත.ඉන් 183 ක් පරික්ෂණ මට්ටමේ පවතින බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පෙන්වා දුන්නේය.බේරුම්කරණය යනු ගතානුගතික උසාවි ක්‍රමයෙන් බැහැර වූ සාධාරණ යුක්ති මූලධර්මයන්ට අනුව ප්‍රශ්නගත පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට ආරවුල් කඩිනමින් සමථයකට පත්කරන ක්‍රමවේදයක් බවත්, එයට අනුගත වෙමින් බේරුම්කරණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බව මෙහි දි අමාත්‍යවරයා මුලින්ම පෙන්වා දුන්නේ⁣ය. මෙම සමහර බේරුම්කරණ පරික්ෂණ වසර ගණන් දිග්ගැස්සී යාම නිසා වින්දිත සේවකයන්ට බරපතල අසාධාරණයක් වන බව ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

මෙයට හේතුව නීතිඥයන් දිගින් දිගටම දින ගැනීම බවත්, එම නිසා ඉදිරියේ දි එසේ උසාවිවල මෙන් දිගින් දිගටම දින දීම නොකළ යුතු බවත්, හරස් ප්‍රශ්න හා සාක්ෂි විමසීමට ගත කරන කාලය අවම විය යුතු බව ඇමතිවරයා අවධාරණය කළේය. අත්‍යාවශ්‍ය අවස්ථාවලදි ඒ සඳහා අවම කාලයක් ලබාදිය යුතු බව ද සෙසු සියලු සාක්ෂි සහ කරුණු දැක්වීම් ලිඛිතව දිව්රුම් පෙත්සම් මගින් ඉදිරිපත් කිරීමට අදාල පාර්ශව දැනුවත් කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. සෙනසුරාදා සහ ඉරිදා දිනවල දි ද මෙම පරික්ෂණ පවත්වා එම පරික්ෂණ කඩිකමින් අවසන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ද ඇමතිවරයා මෙහිදි අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම උත්සව අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන් කෞශල්‍ය, කම්කරු කොමසාරිස් (නීති)නීතිඥ මිලංග වීරක්කොඩි, කථිකාචාර්ය නීතිඥ ශ්‍යාමලි රණරාජා මහත්මිය ද එක් වූවාය.