ඒකාබද්ධ සේවයේ වාර්ෂික ස්ථාන මාරු සාර්ථකව නිමකරයි

ඒකාබද්ධ සේවයේ වාර්ෂික ස්ථාන මාරු සාර්ථකව නිමකරයි

සමස්ත ලෝකයම වෙලාගත් කොවිඞ් වසංගතය තත්වය තුල ශ‍්‍රී ලංකාවද එම අභියෝගයට මුහුණ දෙමින් සිටින අවස්ථාවක 2021 ඒකාබද්ධ සේවයේ වාර්ෂික ස්ථාන මාරු මණ්ඩලය පැවැත්වීම හා ඒ සඳහා වෘත්තිය සමිති සාමාජිකයන් සහභාගි කර ගැනීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්වයක් උද්ගත වුවද එම තත්වය නිරාකරණය කර ගනිමින් ස්ථාන මාරු මණ්ඩලය පැවැත්වීමටත් එයට වෘත්තිය සමිති සහභාගීත්වය ලබාදීමටත් අප සංගමය මැදිහත් වී ක‍්‍රියාකරන ලදී.

විශේෂයෙන්ම ගමනා ගමන ගැටළු හා කාර්ය මණ්ඩලය සේවයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විවිධවු නිර්නායකයන් ක‍්‍රියාත්මක වු කාල සීමාවක වුවද ඒ සියළු බාධක හමුවේ 2021 ස්ථාන මාරු මණ්ඩලය පවත්වා අපගේ සාමාජික සාමාජිකාවන් අති බහුතරයකගේ ස්ථාන මාරු ඉල්ලීම් ඉෂ්ඨ කර ගැනීමට අවස්ථාව සළසා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර මහතා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ බුද්ධි ලියනගේ මෙනවිය හා සහකාර අධ්‍යක්ෂ කුමුදු කුලතුංග මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට අප සංගමයේ හෘදයාංගම ස්තූතිය පළකර සිටිමු.

ස්ථාන මාරු චක‍්‍රලේඛනයේ කාල වකවානු වලට අනුගත වීමට පවතින තත්වය තුල නොහැකි වුවත් සති තුනක් පමණ කෙටි කාලයක් තුල ස්ථාන මාරු මණ්ඩලය පවත්වා තීරණ ගැනීමට වෘත්තිය සංගම් නියෝජිතයන් ඇතුළු ස්ථාන මාරු මණ්ඩලය කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි. ඒ අනුව මේ වන විට 2021 වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල තීරණ දැනුම් දී ස්ථාන මාරු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

සාමාන්‍යයෙන් වාර්ෂික ස්ථාන මාරු චක‍්‍රලේඛනයේ ප‍්‍රකාරව සුදුසුකම් සපුරන පුද්ගලයෙකු විසින් කරනු ලබන ඉල්ලිමක් ඉටු කිරීම සඳහා එක් සේවා ස්ථානයක වසර 5 කට වැඩි සේවා කාලයක් තිබෙන නිලධාරීන් ස්ථාන මාරුවීම් වලට යටත් කරනු ලබයි.

එනමුත් මෙවර රටේ පැවැති කොරෝනා ව්‍යසනය හමුවේ පවතින ගමනා ගමන හා වෙනත් අපහසුතා හේතුවෙන් කිසිදු නිලධාරියෙකු සිය ඉල්ලීමක් නොමැතිව ස්ථාන මාරු වලට යටත් නොකරන ලදී. (ජනප‍්‍රිය සේවා ස්ථාන වලින් පිටතට මාරුවන නිලධාරින් හැර) එහිදීද වෙනත් වර්ෂ වලදී ජනප‍්‍රිය සේවා ස්ථාන වලින් පිටතට යන නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සළකා නොබලන නමුත් මෙවර ඒ පිළිබඳවද අවධානය යොමු කර ගමනා ගමනය පහසුවන ආකාරයෙන් ස්ථාන මාරු සිදුකිරීමට ස්ථාන මාරු මණ්ඩල අවධානය යොමු කරන ලදී.

මෙවර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, දේශිය ආදයම් දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශයෙන් වසර 5 සම්පුර්ණ වීම මත ස්ථාන මාරුවිම් වලට ලක්වන ප‍්‍රමාණය සැළකිය යුතු ප‍්‍රමාණයක් පැවැති අතර ඒ හේතුවෙන් ජනප‍්‍රිය සේවා ස්ථාන වලට ඉල්ලූම් කළ හා නියමිත සේවා කාලය සම්පුර්ණ කළ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් ඉටුකර ගැනීමට හැකිවිය. ඒ හේතුවෙන්ම සැළකිය යුතු ස්ථාන මාරු ඉල්ලීම් ප‍්‍රමාණයක් ඉටුකර දීමට හැකි වුවද ඇතැම් සේවා ස්ථාන වලින් පිටතට ඉල්ලීම් නොමැති වීම හෝ ඇතැම් සේවා ස්ථාන වලට ඉල්ලීම් නොමැතිවීම යන කාරණය හේතුවෙන් පහසුවෙන් සිදුකළ හැකිව තිබු සැළකිය යුතු ස්ථාන මාරු ප‍්‍රමාණයක් ඉටුකර ගැනීමේ අපහසුතාවක්ද ඇතිවිය.

මෙවරද ඇතැම් අයදුම්කරුවන් නියමිත පරිදි ස්ථාන මාරු අයදුම්පත‍්‍රය සම්පුර්ණ කර ඉදිරිපත් කර නොතිබීම නිරික්ෂණය විය. එසේම තොරතුරු නිවැරදීව සඳහන් නොවීම (හැඳුනුම්පත් අංකය පවා නිවැරදිව සඳහන් කර නොතිබීම) ආදී කරුණු හේතුවෙන් ඇතැම් ස්ථාන මාරු ඉල්ලීම් ඉටුකිරීමේ දුෂ්කරතා ඇතිවිය. ඇතැම් අයදුම්කරුවන් හිතාමතාම සිය තොරතුරු නිවැරදිව ඇතුලත්කර නොතිබුන අවස්ථාද නිරික්ෂණය විය. එසේ වුවද එම තොරතුරු ලිපිගොනු ආශ‍්‍රයෙන්ද පරික්ෂාවට ලක්වන බැවින් ඒ වෙනුවෙන් ගතවන අමතර කාල සීමාව හැර වෙනත් වාසි සහගත තත්වයක් උදා නොවන බැවින් නිවැරදි තොරතුරු ඇතුලත් කිරීමට සියළු දෙනා කටයුතු කළයුතු බව සිහිපත් කරමු.

සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය