දිස්ත්‍රික් කිහිපයක රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් වැඩවරයි

දිස්ත්‍රික් කිහිපයක රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් වැඩවරයි
බලන්ගොඩ, කරාපිටිය , මහමෝදර, රෝහල් වළ සහ පුත්තලම දිස්ත්‍රික් රෝහල, බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් රැසක සෞඛ්‍ය කාර්ය සහයකයින් සහ තවත් සුළු සේවා අංශ කිහිපයක කාර්ය මණ්ඩලය ඊයේ  (24) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ ව්‍යාපාරයක් දියත් කරන ලදී.
 
රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බහු කාර්ය සංවර්ධන විශේෂ කාර්ය බලකා දෙපාර්තමේන්තුව හරහා බඳවා ගනු ලැබූ සේවක පිරිස් රෝහල්වලට අනියුත්ත කිරීම මගින් දැනට සේවය කරන සෞඛ්‍ය කාර්ය සහයක සහ උපස්ථායක කාර්ය මණ්ඩලවල ශ්‍රේණින් පහත වැටීමක් සිදුව ඇතැයි පවසමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
 
මෙලෙස රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම නිසා මෙම රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන්ට සහ සායන කටයුතුවලට බාධා පැමිණ තිබිණි.
 
මේ අතරින්ක රාපිටිය රෝහලේ 1100ක්වු කණිෂ්ඨ කාර්ය මණ්ඩයෙන් අද සේවයට වාර්තා කිරිමට නියමිතව සිටි සංඛ්‍යාව 750ක් වුවද සේවයට වාර්තා කර ඇත්තේ සේවකයින් තිදෙනෙකු පමණක් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සේවකයන් පැවසුවේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය සදහා බදවාගැනීමේදී බදවා ගැනීමේ පරිපාටිය උල්ලංඝණය වී ඇති බවත් ඉන් තමුන්ට දැඩි අසාධාරණයක් වී ඇති බවයි.
 
පුත්තලම දිස්ත්‍රික් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන් බිඳ වැටී තිබූ බව පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පවසයි.
 
එම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික රෝහල් 4ක හා දිස්ත්‍රික් රෝහලක් ඇතුළුව රෝහල් 46 ක කටයුතු මෙම කණිෂ්ඨ කාර්ය මංඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් සම්පුර්ණයෙන් අඩාල වී තිබූ බවයි.