ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ මාධ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි විනාශ කිරීම ලෝකය විසින් දැඩි සේ හෙළා දැකිය යුතුයි - මාධ්‍ය සංවිධාන එකතුව

ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ මාධ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි විනාශ කිරීම ලෝකය විසින් දැඩි සේ හෙළා දැකිය යුතුයි - මාධ්‍ය සංවිධාන එකතුව

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන් මාධ්‍ය ආයතන පිහිටි පලස්තීනයේ ගාසා තීරයේ ගොඩනැගිල්ලක් මුලුමනින්ම විනාශ වී ඇති අතර මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව බරපතල ලෙස තර්ජනයට ලක් වී ඇත. විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව මැයි 13 වෙනිදා එල්ල කළ ප්‍රහාරයෙන්, අල්ජසීරා ඇතුළු විදෙස් මාධ්‍ය ආයතන සහ දේශීය මාධ්‍ය ආයතන 15ක් පමණ පිහිටි Al – Shorouk කුළුණ මුලුමනින්ම විනාශ වී ඇත. මාධ්‍ය ආයතනවල උපකරණ විනාශ වී ඇත. මැයි 11 දින Al- Jawhara කුළුණ වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් මාධ්‍ය ආයතන 13ක් පමණ විනාශයට පත් වී ඇත. මාධ්‍ය ආයතන පිහිටා ඇති බව දැන දැනම මාධ්‍ය නිදහසට මෙන්ම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් කරමින් එල්ල කරන ලද මෙම ප්‍රහාර ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකතුව විසින් දැඩි සේ හෙළා දකී.

ජීනිවා සම්මුතියේ II වන සංධානයේ 13 වැනි වගන්තිය උල්ලංඝණය කරමින් එල්ල කරන මෙම ප්‍රහාර නිසා සිවිල් වැසියන්ට හානි සිදු වන අතර මාධ්‍ය ආයතන විනාශ කිරීමෙන් මෙම තොරතුරු ලෝකයට සන්නිවේදනය කිරීම සඳහා මාධ්‍යවේදින්ට ඇති අනුලංඝණීය අයිතිය විනාශ කරනු ලබයි. මෙවැනි දැවැන්ත ප්‍රහාර නිසා ගාසා තීරයේ ක්‍රියාත්මක විදේශීය මාධ්‍ය ආයතනවල මෙන්ම දේශීය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව බරපතල ලෙස තර්ජනයට ලක් වී තිබේ. ඊශ්‍රායලයේ මාධ්‍යවේදීන්ට ද හිරිහැරයට ලක්වන්නට සිදු වී ඇති බව මාධ්‍ය වාර්තාවලින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක විනාශයට හා තර්ජනයට ලක්වී සිටින මාධ්‍ය ආයතනවල නියෝජිත මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත තම සහෝදරත්වය පිරිනමන මාධ්‍ය සංවිධාන එකතුව ගැටුම් නිසා තර්ජනයට ලක්වී සිටින මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු බලපෑම් කරන්නැයි ජාත්‍යන්තර මාධ්‍ය ඇතුලු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. 

ධර්මසිරි ලංකාපේලි,
ලේකම්,
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

සිිතා රංජනී,
කැඳවුම්කරු,
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

දුමින්ද සම්පත්,
සභාපති,
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

එන්.එම්.අමීන්,
සභාපති,
ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය

කනපතිපිල්ලේ සර්වානන්ද
ලේකම්
දෙමළ මාධ්‍ය සංසදය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි,
ලේකම්,
ශ්‍රීලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය.