රිෂාඩ්ගේ නිවසේ මරණය ගැන හෙලිනොවූ කරුණු රැසක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය කළ වතුකරයේ තරුණියක් වූ ජූඩ් කුමාර් ඉෂාලිනී මියයාමේ සිද්ධිය මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් වී තිබේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්දියුදින් සම්බන්ධයෙන් බහුතරයක් වූ සිංහල සමාජයතුළ පවතින විරෝධය නිසාම මෙම සිද්ධියට සුවිශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙන බවක් සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී පැහැදිලිව ම ප්‍රදර්ශනය වේ.

ඒ නිසාම මෙම සිද්ධිය තුලින් මතුකෙරෙන වතුකරයේ සමාජය මුහුණදී ඇති බරපතල ඛේදවාචකය හා විශේෂයෙන් බාලවයස්කාර දැරියන් මුහුණදෙන කුරිරු යථාර්තය පසෙකලා රිෂාඩ් බදියුදීන් විරෝධය තවදුරටත් ඉස්මතු කරමින් තිබෙන බවක් පෙනේ.

ඊයේ ජුලි 21 පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාරිමුත්තු සතිවේල් පියතුමා පැවසුයේ, කදුකරයේ දෙමළ තරුණියන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම ශ්‍රී ලංකාවේ කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත් පැතිකඩක් බවත් රටේ ආර්ථිකය සහ සංවර්ධනය දෙමළ ජනතාවට තවමත් උරුම වී නැති අතර ඔවුන් මේ රටේ ප්‍රජාවක් ලෙසත් පිළි ගෙන නොමැති බවත් ය.

මියගිය දැරියගේ වයස ?

ජුලි 03 වන දින උදෑසන 6.30ට පමණ මෙම දැරිය පිලිස්සීමට ලක් වීමෙන් පසු දින 12ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු මතුකරන කාරණය වී ඇත්තේ, මෙසේ මියගිය තරුණිය වයස අවුරුදු 16 ට වඩා බාල දැරියක් බැවින් එවැනි දැරියක් මෙහෙකාර සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගතයුතු බවයි.

කෙසේවුවද මේවනවිට අනාවරණය වී ඇත්තේ ඇය මෙහෙකාර සේවයට එනවිට ඇයගේ වයස අවුරුදු 16 ඉක්මවා ඇති බවයි.

ඇයගේ උප්පැන්න සහතිකයෙන් එබව තහවුරු වේ.

WhatsApp Image 2021 07 22 at 9.13.27 AM 1නම - ජූඩ් කුමාර් ඉෂාලිනී - උපන් දිනය - 2004/11/12

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වයස අවුරුදු 16 අඩු ළමුන් සේවයට යොදා ගැනීම සපුරා තහනම් වන අතර එය බරපතල වරදක් ලෙසද සැලකේ.

ළමයින් විකිණීම, කෘරත්වයට පත්කිරීම හා අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ නීති නිලධාරිනිය විසින් TV 1 රුපවාහිනී වැඩසටහනක දී පවතින නීතිමය තත්වය සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කළේය.

මෙහෙකාර සේවයට එනවිට දැරියගේ වයස 16 ට වැඩියි !

මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය තැරව්කරුවකු හරහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ ඇත්තේ පසුගිය 2020 නොවැම්බර් 18 වෙනිදාය.

ඒවනවිට ඇයගේ වයස අවුරුදු 16යි දින 6 ක් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

මෙම දැරිය මෙහෙකාර සේවයට බාර ගන්න අවස්ථාවේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවේ පසුවූ බවද එම විමර්ශනවලින් අනාවරණය වේ.

රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා පළමුව අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 19 (2020/10/19) දිනයි.

ඔහුව ඇප මත මුදාහරිනු ලබන්නේ, පසුගිය වසරේ දෙසැම්බර් 11 ( 2020/12/11) දිනයි.

ඉෂාලිනී දැරිය සේවයට පැමිණෙන විට රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා පසුවුයේ අත්අඩංගුවේය.

මෙම දැරිය සිය නිවසේ මෙහෙකාර සේවයට බඳවා ගන්නා අවස්ථාවේදී මෙන්ම පිළිස්සීමට ලක්ව මියැදෙන අවස්ථාව වනවිටද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවේ පසුවිය.

2021 අප්‍රේල් 24 දින මැදියම් රාත්‍රී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රිෂාඩ් මන්ත්‍රීවරයා මේවනවිට මාස 3කට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අධිකරණයට ද ඉදිරිපත් නොකොට 4 වන තට්ටුවේ රඳවා ගෙන සිටියි.

වයස අවුරුදු 12 සිට ලිංගික අතවරයට ලක්වෙලා !

පොලිසිය විසින් අධිකරණය වෙත ලබාදී ඇති වාර්තාවකට අනුව මෙම දැරිය වයස අවුරුදු 12 සිට ලිංගික අතවරයට ලක්ව ඇත.

අධිකරණ වෛද්‍ය වාර්තාවට මුළු ශරීරයෙන් 72% ක් ගිනි ගැනීමකින් දැවී ඇති බවට පෙන්නුම් කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණ තුලින් ගර්භනී ලක්ෂණ නොපෙන්වන බවත් නමුත් විටින් විට දැඩි යෝනි ලිංගික ප්‍රවේශයකට ලක් ව ඇති බවත් අනාවරණය වී ඇත.

මෘදු පටක සහ අභ්‍යන්තරව සාපරාධී ලෙස සැක කල හැකි හානි පිළිබඳ සාක්ෂි නොමැත.

එම සිදුවීම මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරන කාලය තුළ සිදු වුවා යයි කිසිම වාර්තාවක සඳහන් වී නැතැයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නීතිඥයකු පැවසිය.

WhatsApp Image 2021 07 22 at 9.13.27 AM
පොලිස් විමර්ශන වලදී මේවනවිට අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව, මෙම දැරියගේ සහෝදරයකු ද බත්තරමුල්ල 'සෙන්සාල්' ආයතනයේ සේවයට එක්ව ඇත්තේ වයස අවුරුදු 16 දීය.

මෙම දැරියගේ මවගේ පළමු කසාදයේ සැමියා සිය දිවි නසා ගෙන ඇති බවට වාර්තාවේ. පළමු සැමියාගේ විවාහයෙන් අයට ඒ එක් පුතෙකු සහ දියණියක් සිටියි.

දෙවෙනි කසාදේ සැමියාගෙන් දරුවන් හතරකි. එහි වැඩිමල් දියණිය ඉෂාලිනී වේ.

වතුකරයේ සෙසු පවුල් ලෙසම ඉෂාලිනීගේ දෙමාපියන් ද දැඩි ආර්ථික පිඩා මැද දිවි ගෙව් බව අනාවරණය වේ.

“දුව මෙහෙකාරකමට යැව්වේ ණය ගෙවාගන්න බැරි නිසයි” - දැරියගේ මව කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය ජේ. ඉෂාලිනී නැමති දැරියගේ මව වන රාජමානික්කම් රංජනී පවසයි.

හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය ඉකුත් නොවැම්බරයේ සිට රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත්තේ තැරැව්කරුවකු මාර්ගයෙනි.

තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරගැනීම සඳහා මැදිහත් වන ලෙස මියගිය දැරියගේ මව්පියන් මහනුවර මානව හිම්කම් කාර්යාලයට පැමිණ එහි අධ්‍යක්ෂක නන්දන මනතුංග පියතුමා ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම කාර්යාලයට පැමිණිල්ලක්ද කරතිබේ.

ගැහැනු දරුවන් පස් දෙනකු හා එක් පිරිමි දරුවකුගෙන් යුත් පවුලේ සිටින පවුලේ තෙවැන්නා බවත් දැරියගේ මව සඳහන් කරයි.

“කොරෝනා කාලයේ මගේ මහත්තයාට සහ පුතාට වැඩ තිබුණේ නැති නිසා ජීවත්වෙන්න තැන් තැන්වලට ණයවෙන්න සිදුවුණා. දුව මෙහෙකාර සේවයට එක්කගෙන ගිය කෙනාගෙනුත් රත්තරන් බඩුවක් තියලා රුපියල් තිස් දහස් ගණනක් අරන් තිබුණා. එයා අපේ නිවසට ඇවිත් ඔයාට අවුරුදු 13ක සහ දෙකක පොඩි ළමයි ඉන්න නිසා අම්මා ගෙදරින් ගියොත් ඒ ළමයි පවු. ලොකු දුවල දෙන්නගෙන් කෙනෙක් ගෙදරක සේවයට එවන්න කිව්වා. ඒ වෙලාවේ ඉෂාලිනී දුව යන්න කැමති වුණා. මිදුලට ඇවිත් මිනිස්සු ණය ඉල්ලල කෑ ගහන නිසා මම යන්නම් කිව්වා. අයියට විතරක් ණය ගෙවන්න අමාරුයි. මම ගිහින් මේ ණය ටික බේරන්නම් කීවා.” යැයි ඇය වැඩිදුරටත් පැවසීය.

මන්ත්‍රීවරු 4ක් විදිමත් පරීක්ෂණයක් ඉල්ලයි :

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කල වතුකරයේ දෙමල දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, බී. දිගම්බරම්, එම්. උදය කුමාර් සහ වේලුකුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා ලිඛිත පැමිණිල්ලක් භාර දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.

කඩිනමින් පියවර ගන්නවා‘‘ - පොලිස් ඇමති

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ජුලි 20 දා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම 16 හැවිරිදි දැරිය නොකඩවා ලිංගික අතවරයට ලක්ව ඇති බව අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් වන බවත් පොලීසිය ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් වීරසේකර ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

පොලිසිය දැන් ඒ දැරියගේ නිවසවලටද ගොස් ඇති බව පැවසූ ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බවත් පැවසුවේය.

මේ දැරිය පිලිස්සීමෙන් රෝහල් ගතකර දින දෙකකට පසු මියගොස් ඇති හෙයින් තමා මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට කැමති යැයිද අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළේය.