රාජ්‍ය සේවයට අදාළ Covid-19 යටතේ රාජ්‍ය සේවකයින් කැඳවීම පිළිබඳ සියලූ චක්‍රලේක අහෝසි කිරීම මඟින් ගර්භනී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන් අනාරක්ෂිතභාවයට පත්ව ඇති බවත් වහාම එය නිවැරිදි කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ජනාධිපති ලේකම්තුමාගේ අංක PS/PD-A1/07/06/02 හා 2021.07.29 දිනැති උපදෙස් ලිපිය අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේක 02/2021(iii) චක්‍රලේකය නිකුත් කරමින් Covid-19 වසංගත අවධානම යටතේ රාජ්‍ය සේවය සඳහා රාජ්‍ය සේවකයින් කැඳවීමට අදාළ සියලූම චක්‍රලේක අවලංගු කර ඇත.
එම අවලංගු කිරීමත් සමඟ 2021.08.02 දින සිට 100% ක් රාජ්‍ය සේවකයින් වාර්තා කළ යුතු අතර ඒ අතර සිටින ගර්භනී කාන්තාවන් හා වයස අවුරුද්දට අඩු කුඩා දරුවන් සිටින කිරිදෙන මව්වරුන් දැඩි අවධානමකට ලක් කර ඇති බවත් අප සංගමය අවධාරණය කරමු.
Covid-19 ලංකාව තුළ 4 වැනි රැල්ලක් ව්‍යාප්තවීමේ අවධානමක් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කර ඇති පසුබිමක රජය විසින් ගෙන ඇති ඉහත තීරණය වැඩ කරන ජනතාවට එරෙහිව ගෙන ඇති තීරණයක් ද යන්න පැහැදිලි කරගත යුතුව ඇත.
2021.08.01 දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් නිකුත්කර ඇති නිවේදනයෙන්ද අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය Covid-19 ආසාධිතයින් ඉහළ යමින් පවතින බවත් ඊට හේතුව ඩෙල්ටා ප්‍රභේදය සමාජගත වීම හා සංචරණය ඉහළ යෑම ඇතුළු කරුණු බව වැඩිදුරටත් එම සංවිධානය අවධාරණය කරයි.
ඉහත කරුණු සලකා බලා ගර්භනී රාජ්‍ය නිලධාරිනියන් හා වයස අවුරුදු 01 ට අඩු කුඩා දරුවන් සහිත රාජ්‍ය නිලධාරිනියන් හා අවධානමක් සහිත සෙසු පිරිස් රාජ්‍ය සේවයට කැඳවීම සම්බන්ධයෙන් පැවති ක්‍රමවේදය අනුගමනය කරන ලෙසත්, සමස්ථ රාජ්‍ය සේවයම දිනපතා පොදු ප්‍රවාහනය තුළ හා කාර්යාල තුළ සංසරණයවීම හරහා සිදුවිය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් වඩා නිවැරදි තීරණයන් ක්‍රියාත්මක කරන ලෙසත් අප සංගමය ආණ්ඩුවෙන් හා රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
