රාජ්‍ය නිලධාරින්ගේ ගැටළු කඩිනමින් විසඳන ලෙස ඉල්ලයි

රාජ්‍ය නිලධාරින්ගේ ගැටළු කඩිනමින් විසඳන ලෙස ඉල්ලයි

Covid-19 වසංගතය යටතේ උපාධිධාරී/ ඩිප්ලෝමාධාරී අභ්‍යාසලාභීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා රාජකාරී පැවරීම හා මුහුණ දෙන ගැටළු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, Covid-19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන අතර එය ලංකාවට ආවේණික ප්‍රභේද ඇති කරමින් හැසිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර ඇති බව මාධ්‍ය මඟින් පල කර තිබුණි. එමෙන් මේ වන විට 200කට ආසන්න දෛනික මරණ ප‍්‍රමාණයක් වාර්තා වනුයේ බස්නාහිර පළාත හැර දිවයිනේ සෙසු පළාත්වල ද ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන නිසා බව සෞඛ්‍ය අංශ විසින් පසුගිය දිනවල දී ප‍්‍රකාශ කරන ලදි.

තත්වයන් එසේ තිබිය දී ඇතැම් ආයතන මඟින් වාර්තාවන අන්දමට අභ්‍යාසලාභී පුහුණුව සඳහා අනුයුක්ත කර ඇති උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අනාරක්ෂිතව හා වගකීම් විරහිත විවිධ කාර්යන්හි යෙදවීම සම්බන්ධයෙන් අපගේ විරෝධය පල කරන අතර ඇතිවිය හැකි අවධානම් තත්වයන් පිළිබඳ වගකීම් අදාළ බලධාරීන් ගත යුතු බවත් අවධාරණය කරමු,

2. රජයේ ස්ථීර කාර්යමණ්ඩල නොවන, විශේෂ රාජකාරී අත්දැකීම් රහිත හා සෞඛ්‍ය හෝ හමුදාමය සේවාවන් මෙන් සෞඛ්‍ය හා ආපදා වැනි තත්වයන් වලදී ක්‍රියාකළ යුතු ආකාර පිළිබඳ වෘත්තීය පලපුරුද්දක් නොමැති අභ්‍යාසලාභී පුහුණුවට අනුයුක්ත කර ඇති උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් මහජනතාව ඒකරාශීවන එන්නත්කරණ වැඩ සටහන්වලට යෙදවීම, කොවිඩ් අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන වලට අනුයුක්ත කිරීම, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අඛණ්ඩව අනුයුක්ත කිරීම හා අනාරක්ෂිත ආකාරයෙන් කාර්යයන් සඳහා යෙදවීම් කර ඇත,

3. අභ්‍යාසලාභී පුහුණුවන්නන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් පවතින තත්වය යටතේ රාජකාරී ඇතුළු විවිධ කාර්යයන් යෙදවීමේ දී සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබා දීමක් සිදු නොකිරීම,

4. පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති මොහොතක, පෞද්ගලික ප්‍රවාහන පහසුකම් නොමැති පිරිස් සඳහා කාර්යාලීය ප්‍රවාහන පහසුකම් සැපයීමක් නොකර සේවයට වාර්තා කරන ලෙස බලපෑම් සිදු කරමින් පැවතීම,

5. 02/2021(iv) රා.ප. චක්‍රලේඛයේ අංක 06 හි සඳහන් ගර්භනී සහ කුඩා දරුවන් සහිත කිරිදෙන මව්වරුන්ට සහන සැලසීම යන කොන්දේසිය නොසලකා අභ්‍යාසලාභී උපාධිධාරිනියන් හා ඩිප්ලෝමාධාරිනියන් ඇතැම් තැන්වල 2021.08.23 සිට විවිධ කාර්යන්ට අනුයුක්ත කර ඇති බව වාර්තා වීම.

අභ්‍යාසලාභී පුහුණුව යටතේ වන උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් අත්‍යාවශ්‍ය රාජකාරී කාණ්ඩයට අයත් නොවන අතර, සංවර්ධන නිලධාරීන් හා ක්‍ෂේත්‍ර නිලධාරීන් ද 06/2006 හා 3/2016 යටතේ වන රාජ්‍ය වැටුප් චක්‍රලේක අනුව ක්ෂේත්‍ර නිලධාරී කාණ්ඩයට අයත් නොවන බවත් බලධාරීන්ට හිතුමනාපේ ආශ්‍රිත සේවාවට අයත් නිලධාරීන් මේ ආකාරයට යොදා ගැනීම සම්බන්ධයෙන් එකඟ නොවෙමු.

ප්‍රවාහන පහසුකම් නොමැති පිරිස් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් Covid-19 යටතේ රාජකාරීවල නිරත සියලූ දෙනාට ප්‍රමාණවත් හා අත්‍යාවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමේ පසුබිමක් තුළ රටේ ජනතාව වෙනුවෙන් ජිවිත අවධානම් තත්වයක් යටතේ වුවද රාජකාරී කිරීමට එකඟ වන අතර අනාරක්ෂිතව රාජකාරී කිරීම ප්‍රතික්ෂේප කරමු.

මේ පිළිබඳව අදාළ බලධාරීන් කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් අනාරක්ෂිත රාජකාරීවලින් වැළකී සිටීමේ පියවරයන්ට ගමන් කිරීමට සිදුවන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

එමෙන්ම දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශන් හා 02/2021(iv) චක්‍රලේකයේ අදාළ කරුණු පිළිබඳ ආයතන ප්‍රධානීන්ගේ විශේෂ අවධානය යොමු කරවීමට පියවර ගන්නා මෙන්ද වැඩි දුරටත් ඉල්ලා සිටිමු.