අදහස් හා විරෝධය දැක්වීම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි

අදහස් හා විරෝධය දැක්වීම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි

අදහස් දැක්වීම, විරෝධය දැක්වීම ඕනෑම ශිෂ්ට සමාජයක මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලෙස පිළිගැනෙයි. අධ්‍යාපනය අයිතිය ද මූලික මිනිස් අයිතිවාසිකමකි.

පසුගිය අගෝස්තු 03 දින නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් අධ්‍යාපනය විකිණීම නීතිගත කිරීමටත්, මිලිටරිකරණය කිරීමටත් ගෙන එන ⁣කොතලාවල පනතට විරෝධය දක්වන ලදී.

ඒ හේතුවෙන් අද වන විට අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසු හා කම්කරු නායකයින් 05 දෙනෙකු අභූත චෝදනා නගා සිරගත කර තිබේ. සිසු ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් පසුපස නිල හා නොනිල ආණ්ඩුවේ කණ්ඩායම් ලුහු බඳිමින් සිටියි. විරුද්ධ දේට විරුද්ධ බව කීමට, අකමැති දේට අකමැති බව කීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තිබිය යුතුය.

නමුත් පෞද්ගලිකකරණය හා මිලිටරිකරණය ඉලක්ක කරගත් ආණ්ඩුවේ පටු දේශපාලන අරමුණු හමුවේ එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සියල්ල උල්ලංඝනය වෙමින් තිබේ. ආණ්ඩුව කළ යුත්තේ ජනතා මතයට හිස නමා කොතලාවල පනත හකුළා ගැනීම මිස සිසු - කම්කරු නායකයින් මර්දනය කොට විරෝධය යටපත් කිරීම නොවේ.

එහෙයින් පැහැරගැනීම් - සිරගත කිරීම් වහා නවතන ලෙසත්, සිරගත කළ සිසු - කම්කරු ක්‍රියාකාරීන් 05 දෙනා වහා නිදහස් කරන ලෙසත්, කොතලාවල පනත හකුළා ගත යුතු බවත් අපි ආණ්ඩුවට බල කර සිටිමු. මර්දනයෙන්, තර්ජනයෙන් අයිතීන් උදෙසා වූ ජනතා අරගලය යටපත් කිරීමට අප ඉඩ නොතබන බව ද අවධාරණය කර සිටිමු.

පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය