ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිනිය සමඟ සහයෝ​ගි​​තාවයේ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා පවත්වයි

ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිනිය සමඟ සහයෝ​ගි​​තාවයේ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා පවත්වයි

ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද නව එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය, පසුගියදා විදේශ ​කටයුතු ​අමාත්‍යාංශයේ දී විදේශ ​කටයුතු ​​ලේකම්​ ​අද්මිරාල් මහාචාර්ය  ජයනාත් කොළඹගේ මහතා හමුවී එක්සත් ජනපදය සමඟ සහයෝ​ගි​​තාවයේ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා පවත්වනු ලැබූ බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අක්තපත්‍ර පිළිගැන්වීම සම්බන්ධයෙන් තානාපති චන්ග් මැතිනිය වෙත සුබපැතුම් පළ කළ විදේශ ​කටයුතු ​ලේකම් කොළඹගේ මහතා,  ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවත්නා සබඳතා සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, තානාපති චන්ග් මැතිනිය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීම සඳහා එක්සත් ජනපදය කැපවී සිටින බවත්, ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දෙන බවත් තානාපතිනිය මෙහිදී තහවුරු කළා ය.

විදේශ ​කටයුතු ​ලේකම් කොළඹගේ මහතා සහ තානාපති චන්ග් මැතිනිය, දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝ​ගි​​තාව පිළිබඳව සුහද හා සමීප සාකච්ඡාවක් පැවැත්වූ හ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලෑන්ඩ් මහත්මියගේ සංචාරය සහ ලබන සතියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරය කැඳවීම සඳහා අවශ්‍ය කටයුතු  සූදානම් වෙමින් පවතින බවද ඔවුහු සඳහන් කළහ.