කම්කරු නීති සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට වෘත්තීය සමිති සම්බන්ධ කරගන්න - ඉන්ඩස්ට්‍රිඕල් ගෝලීය වෘත්තීය සමිති සම්මේලනය

කම්කරු නීති සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට වෘත්තීය සමිති සම්බන්ධ කරගන්න - ඉන්ඩස්ට්‍රිඕල් ගෝලීය වෘත්තීය සමිති සම්මේලනය

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති වල අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසට සහ වර්තමාන කම්කරු නීති සංශෝධනය කිරීමේ ක්‍රියාවලියේ සාකච්ඡා සඳහා වෘත්තිය සමිති ද සම්බන්ධ කරගන්නා ලෙසට ඉන්ඩස්ට්‍රිඕල් ගෝලීය වෘත්තීය සමිති සම්මේලනයේ මහලේකම්, ඇට්ලි හෝයි මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපිය එවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පතල්, බලශක්ති සහ නිෂ්පාදන අංශ වලට ඇතුලත් ස්ථිර හා තාවකාලික සේවකයන් මිලියන 50කට වැඩි පිරිසක් නියෝජනය කරනු ලබන ඉන්ඩස්ටි්‍රඕල් ගෝලීය වෘත්තීය සමිති සම්මේලනයේ මහා ලේකම් වරයා වශයෙන් මෙම ලිපිය ඔබ වෙත ලියමි. පවත්නා කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධ කාරණයේදී රට තුල පවත්නා වෘත්තිය සමිති වල අයිතිවාසිකම් ආරක්ෂා  කිරීමටත් එමෙන්ම මෙම සංශෝධන සම්බන්ධව  සංවාදමය ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසටත් ඔවුන් විසින් සිදු කරන ලද ඉල්ලීම් සලකා බැලීමට ලක් කරන ලෙසටත් ඔබගෙන් ඉල්ලා සිටීමට මම බලාපොරොත්තු වෙමි.

වර්තමාන රජය යටතේ  ශ්‍රී ලංකාව තුළ පවත්නා අපගේ අනුබද්ධ ආයතන ඇතුළුව සියළු වෘත්තිය සංගම් වලටත් ඒවායේ නායකයන් හටත්  සලකනු ලබන ආකාරය පිලිබදව දැඩි කණස්සල්ලෙන් පසු වෙමු. පසුගිය සැප්තැම්බර් 11 වන දින වෘත්තිය සමිති නියෝජිතයන් විසින් කම්කරු නීති සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාතික කම්කරු උපදේශක සභාවේ රැස්වීමක් කැදවන ලෙසට ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගෙන් ඉල්ලීම වෙනුවෙන් එතුමා හමුවීමට  උත්සාහ කරන ලද අවස්ථාවේදී  ගරු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විසින් දක්වන ලද ඉතා නොහික්මුණු ක්‍රියා කලාපයට ලක්වීමට ඔවුනට සිදුවූ බව අපගේ අවධානයට ලක් කරන ලදී.

එයට අමතරව, අපගේ අනුබද්ධ වෘත්තීය සමිති වන නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ බොරැල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පසුගිය මාසයේ දෙවතාවක්  කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුලු වීමක් සිදු වී ඇත.  ඊට අමතරව වෘත්තිය සමිති ව්‍යවස්ථාවන් තුල පවත්නා ගැටලු උපුටා දක්වමින් 2022 ජුලි මස වෘත්තිය සමිතිය විසින් වෘත්තිය සමිති රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත නියමිත පරිදි ඉදිරිපත් කරන ලද ලේඛන  මේ දක්වා එම කාර්යාලය විසින් බාර ගෙන නොමැත. වෘත්තිය සමිති වල වසර හතලිහක ඉතිහාසය තුළ කිසිදු  විටෙක එවන් ගැටළුවක් පැන නැගී නොමැත.

මේ කාරණා කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙසටත් රට තුල පවත්නා වෘත්තිය සමිතිවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ඉන්ඩස්ටි්‍රඕල් ගෝලීය වෘත්තීය සමිති සම්මේලනය වශයෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. රට විසින් මුහුණ දෙනු ලබන මෙම අභියෝගකාරී කාල වකවානුවක් තුළ ජනතාවාදී හඬ නැගීම් මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම ඉතාම වැදගත් වේ. ඒ අනුව අපගේ අනුබද්ධ වෘත්තීය සමිති විසින් ද සාමාජිකත්වය දරනු ලබන ජාතික කම්කරු උපදේශක සභාවේ රැස්වීම කැඳවනු ලබන තෙක් කිසිදු  කම්කරු නීති සංශෝධනය කිරීමක් යෝජනා නොකරන ලෙසට අපි ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.

(ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනයකි)