ලංකා බැංකු සභපතිට විරෝධය පා බැංකු සේවකයින් විරෝධතා ලාංඡන පළඳියි

ලංකා බැංකු සභපතිට විරෝධය පා බැංකු සේවකයින් විරෝධතා ලාංඡන පළඳියි

ලංකා බැංකුවේ සභාපතිවරයාගේ දූෂිත හා අත්තනෝමතික පාලනයෙන් ලංකා බැංකුව ආරක්‍ෂාකර ගැනීමේ අරගලය ඉදිරියට ගෙනයමින් ලංකා බැංකු සේවක සංගමය විරෝධතා ලාංඡන පැළඳ සේවය කිරීමේ ක්‍රියාමාර්ගය 2022 සැප්තැම්බර් මස 29 හා 30 දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ඒ සඳහා ලංකා බැංකු සේවක සංගමය විසින් නිකුත් කර තිබූ නිවේදනය පහතින් දැක්වේ.

  • සභාපතිවරයා තනතුරින් ඉවත් කළ යුතුයි...
  • වෝහාරික විගණනයක් වහාම ආරම්භ කළ යුතුයි...

මෙරට ප්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුව පසුගිය වසර 03 ක පමණ කාලය තුළ සභාපතිවරයාගේ අත්තනෝමතික පාලනය තුළ දැඩි අර්බුදයකට ගමන් කරමින් පවතී. සභාපතිවරයා ඔහු සතු දේශපාලන සම්බන්ධකම් අවභාවිත කරමින් දශක අටක් ඉක්ම වූ අභිමානවත් ඉතිහාසය පුරාවට සුරක්‍ෂිත කළ නීති, රීති, රෙගුලාසි හා හර පද්ධති සුනු විසුණු කරමින් සිටී. ඔහු විසින් ලංකා බැංකුව තම පෞද්ගලික බූදලයක් සේ භාවිත කිරීම නිසා අභාග්‍ය සම්පන්න තත්වයකට බැංකුවට මුහුණ දීමට සිදුවී තිබේ.

ලංකා බැංකුවට කිසියම් හෝ අවාසනාවන්ත ඉරණමකට මුහණ දීමට සිදුවන්නේ නම් එය ලංකා බැංකුවට පමණක් නොව මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතියටම බලපාන දරුණු අභියෝගයක් බව සියලුදෙනාම ඉතා මැනවින් අවබෝධ කරගත යුතුය. තවද ඉතිහාසය පුරාවට මෙරට රාජ්‍ය බැංකු පමණක් නොව පෞද්ගලික බැංකු පවා සියලු අභියෝගයන්ගෙන් ආරක්‍ෂාකර ගනු ලැබුවේ ලංකා බැංකු සේවක සංගමය විසිනි. වර්තමානයේ ලංකා බැංකුව හරහා පැන නැගී ඇත්තේ ද ඉතිහාසයේ යම් පැතිකඩක නැවත කියවීමකි.

ඒ අනුව අප සියලුම දෙනා වර්තමානයේ ලංකා බැංකුව විනාශය කරා යොමු කරවමින් සිටින සභාපතිවරයා වහාම තනතුරින් ඉවත්කර වෝහාරික විගණනයක් (Forensic Audit) ආරම්භ කරමින් ලංකා බැංකුව තුළ පසුගිය වසර 3ක පමණ කාලය තුළ සිදුකළ අක්‍රමිකතාවන් හෙළිදරව් කිරීමටත්, අවශ්‍ය පියවර ගැනීමටත් බල කරමින් සංගමය දැනටමත් ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට උපරිමව දායකත්වය ලබාදීමට අදිටන්කර ගත යුතු වේ.

විරෝධතා ලාංඡන පැළඳීම

සභාපතිවරයාගේ අත්තනෝමතික පාලනයට එරෙහිව සංගමය විසින් සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සාමාජිකත්වය සැප්තැම්බර් 26 හා 27 යන දෙදින විරෝධතා ලාංඡන පැළඳ සේවයට වාර්තා කිරීමට තීරණයකර තිබුණි. එහෙත් ප්‍රායෝගික තත්වයන් තුළ ඉහත දෙදින වෙනුවට සැප්තැම්බර් 29 හා 30 යන දෙදින තුළ ඉහත ක්‍රියාමාර්ගයට අනුගත විය යුතු බවට දන්වා සිටිමු.

විරෝධතා ලාංඡන පැළඳ සේවය කිරීමේ ක්‍රියාමාර්ගය 2022 සැප්තැම්බර් මස 29 හා 30

ඒ අනුව ඉහත ක්‍රියාමාර්ග උපරිමයෙන්ම ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට සියලුම සාමාජිකයන් එකාවන්ව පෙරමුණ ගතයුතු අතර මෙරට ජනතාවට අයිති ලංකා බැංකුව සුරක්‍ෂිත කිරීමටත්, එමගින් රටේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතියම ආරක්‍ෂා කිරීමටත් දැඩිව අදිටන්කර ගනිමු

ලංකා බැංකුව සුරැකීමට පෙරමුණ ගනිමු

ලංකා බැංකු සේවක සංගමය දිගුකල් දිනේවා