ඉලෙක්ට්‍රොනික් තරාදියට වතුකම්කරු විරෝධය

ඉලෙක්ට්‍රොනික් තරාදියට වතුකම්කරු විරෝධය

නෙලන ලද තේ දළුවල බර කිරීම සදහා අලුතින් යොදා ගන්නා  විද්‍යුත් තරාදිය භාවිතයෙන් ඉවත් කරන ලෙස බලකරමින් කඳුකරයේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර තිබේ.

බගවන්තලාව වැවිලි සමාගම යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු කිහිපයකම වතු කම්කරුවන් කොටියාගල තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට පෙබරවාරි 22 වැනි බදාදා දියත් කළ උද්ඝෝෂණයට එක්ව සිටි බවයි.

වතු කම්කරුවකු දිනකට රුපියල් දහසක වැටුපක් ලැබීමට නම් දිනක් තුළ  අමු තේ දළු කිලෝ 18 ක් නෙලිය යුතු බවට වතු පාලනාධිකාරිය විසින් කොන්දේසි පනවා  තිබේ.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ එලෙස තමන් දෛනිකව නෙලන තේ දළු විද්‍යුත් තරාදියෙන් කිරීමේදී වතු පාලනාධිකාරිය විසින් අමු තේ දළු ප්‍රමාණය අඩුවෙන් පෙන්වන අතර, ඒ අනුව එම තරාදියෙන් දිනකට අමු තේ දළු කිලෝ පහක් පමණ වතු පාලන අධිකාරිය ඉතා සුක්ෂම ලෙස තමන්ගෙන් ලබා ගන්නා බවයි.

දින තුනක වැඩ වර්ජනයකින් පසුව "දුප්පත් මිනිහගේ බඩට ගහන්න එපා!" යනුවෙන් සදහන් විරෝධතා පුවරු අතතිව උද්ඝෝෂණය කළ වතු කම්කරුවන් තව දුරටත් චෝදනා කළේ විද්‍යුත් තරාදිය වතු පාලනාධිකාරියට අවශ්‍ය ආකාරයට සකස් කරගෙන අමු තේ දළු ව්‍යාජ ආකාරයෙන් කිරා භාර ගන්නා බවයි.

විද්‍යුත් තරාදිය භාවිතයට ගැනීමට පෙර වතු ආශ්‍රිතව භාවිතා කල පැරණි තරාදිය නැවතත් අමු තේ දළු කිරිම සදහා භාවිතා කරන තෙක් තමන් තේ වත්තේ  දෛනික වැඩ කටයුතු වලින් ඉවත් වන බවට වතු කම්කරුවන් අවධාරණය කර සිටි.

විරෝධතා පැවැත්වු දිනයේ කම්කරුවන් විසින් නෙලන ලද තේ දළු වතු පාලනාධිකාරිය විසින් භාර නොගැනීම සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමටත්  වතු කම්කරුවන් කටයුතු කර තිබේ.

වතු පාලනාධිකාරිය පවසන්නේ තේ දළු නෙලන වතු කම්කරුවන්ගෙන් අමු තේ දල්ලේ පවතින තෙතමනය වෙනුවෙන් දිනකට තේ දළු කිලෝ ප්‍රමාණයක් වතු පාලන අධිකාරිය විසින් ලබා ගන්නා අතර එම ක්‍රමවේදය දිගු කාලයක් සිට අනුගමනය කරන ක්‍රමයක්  බවයි.