මංත්‍රීවරු පනත් දෙකට අත එසවීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ දැයි තම හදවතට තට්ටු කළ බැලිය යුතුයි - අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය

මංත්‍රීවරු පනත් දෙකට අත එසවීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ දැයි තම හදවතට තට්ටු කළ බැලිය යුතුයි - අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය

ඔක්තෝබර් මස 03 දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල (ඔන්ලයින්) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳවයි.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳව ජනමාධ්‍ය සංවිධානවල, සිවිල් සංවිධානවල, වුර්තීය සමිති,  හා නීතිඥ සංගම්වල විරෝධය මේ වනවිට එල්ල වී ඇත. ඒ සඳහා හේතුව වන්නේ මෙම පනත් කෙටුම්පත් මගින් මහජනයාගේ අදහස් පළකිරීමේ හා භාෂණයේ නිදහස අහිමි කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මහජනයාගේ අනෙකුත් මූලික අයිතිවාසිකම් උලල්ංගනය වීමය.                                   

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මීට පෙර මාර්තු මාසයේදී ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත. එම විරෝධතා සැළකිල්ලට ගනිමින් නව කෙටුම්පතක් ඉදිරිපත් කරන බව ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශ කළද අලුතෙන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත හා පෙර කෙටුම්පත අතර වෙනසක් නැත.                                                      

විශේෂයෙන්ම පෙර කෙටුම්පත සම්බන්ධයෙන් විරෝධය එල්ල වූ එක් කරුණක් වූයේ එහි ඇති ‘ත්‍රස්තවාදය’ යන්න අර්ථකනය කිරීමේ පුළුල් බව හෙවත් නිශ්චිත නොවන බවයි. අලුත් කෙටුම්පතේද එම කරුණ සම්බන්ධයෙන් වෙනසක් සිදුවී නැත. අපගේ අදහස වන්නේ ත්‍රස්ත විරෝධී පනතක් රටකට අවශ්‍ය වන්නේ නම් එය ජාත්‍යන්තරව පිළිගත් ත්‍රස්තවාදය නිශ්චිත අර්ථකතනයක් සහිතව ඉදිරිපත් විය යුතුය. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති අධිකරණයේ නියෝගයකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීම යන විරුද්ධවාදීන් සම්බන්ධයෙන් අවභාවිත කළ හැකි ප්‍රතිපාදනවලට එහා ගොස් පුද්ගලයින්ගේ ගමන් බිමන් සීමා කිරීම, ප්‍රවේශයන් සීමා කිරීම වැනි අලුත් මර්ධනකාරී ප්‍රතිපාදනයන් රැසක්ද මෙම ත්‍රස්ත විරෝධී කෙටුම්පතට ඇතුලත්ව තිබේ.                                  

ඒ නිසා පවතින පනතට වඩා ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත භයානක එකක් බව අපගේ අවබෝධයයි.               

මාර්ගගත ක්‍රමවල (ඔන්ලයින්) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අවධානය යොමු කිරීමේදී ද පෙනී යන්නේ එය ආණ්ඩුවල වුවමනාව අනුව කටයුතු කරන රූකඩ කොමිෂමක් මගින් ක්‍රියාත්මක කරන්නට යන බවය. එම කෙටුම්පතට අදාළ කොමිසම කිසිසේත්ම ස්වාධීන එකක් වන්නේ නැති අතර එහි සාමාජිකයන් පත් කිරීම හා ඉවත් කිරීම සිදුකරන්නේ ජනාධිපතිවරයාය. මෙම ජනාධිපතිවරයාගේ කොමිසමට යම් ඔන්ලයින් ප්‍රකාශනයක සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීමේ බලය ලැබෙන අතර ඒ අනුව තහනම් කළ යුතු ප්‍රකාශ කුමක්ද යන්න තීරණය කිරීමේ බලය ලැබේ. මෙය පැහැදිළිවම ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනිය. මන්ද ස්වභාවික යුක්ති මූලධර්මයට අනුව සාධාරණ විභාගයක් මෙහිදී නොපත්වන නිසාය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ සිතැඟි අනුව කටයුතු කරන මෙම රූකඩ කොමිසමට යම් ඔන්ලයින් ප්‍රකාශයක් ඉවත් කරන ලෙසට නියෝග දිය හැකි අතර එමෙන්ම තහනම් බවද ප්‍රකාශයට පත්කළ හැකිය. ඒ යටතේ ඔන්ලයින් ප්‍රකාශය පළකළ තැනැත්තාට පමණක් නොව ඔන්ලයින් සේවාව ලබාගන්නා ආයතනයට මෙන්ම අතරමැදි ආයතනවලටද නියෝග නිකුත් කිරීමේ බලය ලබාගෙන ඇත. මෙය පැහැදිළිවම ජාත්‍යන්තර වහයෙන් ශ්‍රී ලංකාව අන්ත්රජාල සේවාවලින් හුදකලා කරන තත්වයකි.

ආණ්ඩුවල වුවමනාව මත විරුද්ධවාදීන් දඬයම් කිරීමට යොදාගත්, එල්ල වූ විරෝධය හමුවේ නීති පොතෙන් ඉවත් කළ සාපරාධී අපහාස නීතිය වෙනත් ආකාරයකින් යළි ගෙන ඒමේ ප්‍රතිපාදනද මෙම කෙටුම්පත තුළ අන්තරගත වන බව පෙනේ.

පාර්ලිමේන්තු මංත්‍රීවරු මෙම පනත් දෙකට අත එසවීමට පෙර තමන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ දැයි තම හදවතට තට්ටු කළ බැලිය යුතු බව අපගේ අදහසය.

මාධ්‍ය මර්දනයට එරෙහි එකමුතුව