සිවිල් සමාජ සංවිධාන හා වෘත්තිය සමිති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාජ උපදේශන සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

සිවිල් සමාජ සංවිධාන හා වෘත්තිය සමිති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාජ උපදේශන සාකච්ඡා ප්‍රතික්ෂේප කරති
  • සමාජ - ආර්ථික ගොඩනැංවීම සදහා ජනතා මූලික වැඩපිළිවෙලක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව සමග මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් (Extended Fund Facility) ණය ගිවිසුමෙහි දෙවෙනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම කොළඹට පැමිණ සිටින අතර ඔවුන් දැනට සිදුකෙරෙමින් පවතින ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ඇතුළු රාජ්‍ය පාලන ගැටලු පිළිබඳව අදහස් ලබා ගැනීම සඳහා 2024 මාර්තු 19 වෙනි දින කොළඹ දී සිවිල් සමාජ සංවිධාන සහ බුද්ධි මණ්ඩල කිහිපයක් හමු වනු ඇත. මෙම සාකච්ඡාවන් සිදු කරනු ලබන්නේ රජය විසින් තමන් විසින් පොරොන්දු වූ ආණ්ඩුකරන ඉලක්කවලින් 30% කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉටු කර ඇති මොහොතකය

මෙරට බහුතර ජනතාවගේ සහ ඔවුන්ගේ අනාගත පරම්පරාවල සමාජ-ආර්ථික යහපැවැත්ම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒකාබද්ධ කප්පාදු වැඩසටහන මගින් ඇතිකරන අහිතකර ප්‍රතිවිපාක පිළිබඳ සාක්ෂි තිබියදීත්, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සම්බන්ධවීම සහ අවිචාරාත්මක ලෙස ඇතැම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධීම පිළිබඳව පහත අත්සන් කර ඇති සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ බුද්ධි මණ්ඩල හෙළා දකිමු. සමාජයේ පවතින බරපතල අසමානතාවයන් තව තවත් පුළුල් වෙමින් පවතින අතර, ජනතාවගෙන් වැඩි පිරිසක් දරිද්‍රතාවයෙහි සිරවී සිටින්නේ නැවත යථා තත්ත්වයට පත්වීමේ සුළු හෝ අපේක්ෂාවක් නොමැතිව ය. මෙවන් තත්ත්වයක් තුළ, රජය තම වරප්‍රසාද ලත් කණ්ඩායමට හානියක් හෝ බලපෑමක් ඇති නොවන බව සහතික කරමින් ස්වකීය කප්පාදු ක්‍රියාමාර්ග තෝරා බේරා ගෙන ක්‍රියාත්මක කරයි. කප්පාදු කිරීම් තිබියදීත්, ඇතැම් කොටස් සඳහා වැටුප් වැඩිවීම් සහ වරප්‍රසාද සුරක්ෂිත කර ඇති අතර අනෙක් කොටස් වලට ඒවා හිමි නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර කිහිප වතාවක් ම දේශීය සිවිල් සංවිධාන හමුවී ඇත. ඒ හා සමානව ම, සිවිල් සමාජය, වෘත්තීය සමිති සහ ක්‍රියාකාරීන් ද අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එකඟ වී ඇති වර්තමාන 17 වෙනි ගිවිසුමේ සැලැස්ම සහ කොන්දේසි පිළිබඳ ස්වකීය කනස්සල්ල පළ කර ඇති අතර, තමන් පෙන්වා දෙන ගැටළු සැලකිල්ලට නොගන්නා බවට ද ඔවුන් සැක පළ කර ඇත. ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය වලින් බොහෝමයක් ජනතාවට වාසි සහගත නොවන ණය බවත්, එබැවින් ඒවා නීත්‍යානුකූල නොවන බවත් වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන නිරතුරුව පෙන්වා දී ඇත. මෙම ගැටළු සහ සිවිල් සමාජය විසින් මේ දක්වා මතු කර ඇති අනෙකුත් ඉතා වැදගත් ප්‍රශ්න බැරෑරුම් ලෙස සැලකිල්ලට ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කැමැත්තක් නැත. තමන් තම සීමාවන් ඇතුළත ක්‍රියාත්මක විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටියි. මේ අනුව, සිවිල් සමාජයෙන් සිදු කරන මෙම අදහස් විමසීම් හුදෙක් බාහිරට පෙන්වන, අදාළ අවශ්‍යතා සම්පූර්ණ  කරන බවක් පෙන්වීමේ වෑයම් පමණි.

එබැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පහත ලැයිස්තුගත කර ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අව්‍යාජ ප්‍රයත්නයක් දරන බව අපට දක්නට ලැබෙන තුරු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලට සහභාගී වීම මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ සමාජ හා ආර්ථික ජීවිතයට එල්ල කරන අනුකම්පා රහිත ප්‍රහාරයක් වූ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූල කිරීමට සම්බන්ධ වීම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු.

  1.  කරුණු නොසැඟවූ තාක්ෂණික සහාය වාර්තාව සහ ණය තිරසාරභාවය පිළිබඳ ඇගයීම සකස් කිරීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් සහ පරාමිතීන් ද ඇතුළුව අදාළ තොරතුරු සපයා දීම මගින් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු සහ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ ක්‍රියාවලියක් තිබීම. ස්වකීය ප්‍රතිපත්ති සහ ඒවා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ගරු කරන ආකාරයෙන් සිදු කරන බව සහතික කිරීමේ වගකීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්පූර්ණෙයන්ම පැහැර හැර ඇත. සම්පූර්ණ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට අර්ථාන්විත ලෙස සහභාගීවීමේ අයිතිය, සහ විසම්මුතිය සහ විරෝධතා සාමකාමීව ප්‍රකාශ කිරීමට ඇති අයිතිය එම අයිතීන්ට ඇතුළත් වේ.
  2. විනිවිදභාවයෙන් යුතු සහ සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය තිරසාර මට්ටමට අඩු කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට අනුව සිදු කරන පොදු විගණන ක්‍රියාවලියක් හරහා හඳුනාගනු ලබන, මහජනයාගේ ප්‍රතිලාභය පිණිස නොවන පිළිකුල් සහගත (odious) සහ නීත්‍යානුකූල නොවන සියලු ම ණය අවලංගු කිරීම, දැනට යෝජනා වී තිබෙන 30% ක ණය කප්පාදුවට වඩා විශාල  කප්පාදුවක් සහ ආර්ථීකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවන ආකාරයේ දිගු කාලීන ණය නොගෙවීමේ සහන කාලයක් මෙයට ඇතුළත් විය යුතුය.
  3. වෙළෙඳපොළ අනුව බලශක්ති මිල නියම කිරීම, සහනාධාර කප්පාදු කිරීම, වක්‍ර බදු ඉහළ දැමීම සහ සමාජ සුබසාධන පහසුකම් කප්පාදු කිරීම වැනි කොන්දේසි කම්කරු ජනතාවගේ, ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් ඇති කරන බව පිළිගැනීම. 2021-2022 කාලයේ සිට ජනසම්මත නීත්‍යානුකූල භාවයක් නොමැති, ජනතාව විසින් තෝරා පත් කර නොගත් සහ ජනතාවගේ විශ්වාසය සහ සහයෝගය නොලබන ජනාධිපතිවරයෙක් නායකත්වය දෙන රජයක්, චණ්ඩ පොලිස් සහ හමුදා බලාකායන්හි බලය භාවිතා කරමින්, වෘත්තීය සමිති සුනු විසුනු කර දමමින් සහ අනෙකුත් ප්‍රචණ්ඩ සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම භාවිතා කරමින් ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන විරෝධය යටපත් කරමින් සිටියි. එපමණක් නොවන, රජය තමන්ට ආරක්ෂාව සලසා ගන්නා ආරක්ෂක ජාලයක් නිර්මාණය කර ගැනීම සඳහා මර්දනකාරී නීති ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දෙමින් සිටියි. නීත්‍යානුකූල නොවන රජයක් මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තවදුරටත් අනුමත කරනු ලැබීම සහ දිරිමත් කරනු ලැබීමත් අපි තරයේ හෙළා දකිමු.
  4. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුප්පතුන්ගේ බර තව තවත් වැඩි කරන වර්තමාන ප්‍රතිසංස්කරණ දිරිමත් කරන අතර ම, නීති විරෝධී ප්‍රාග්ධන ගලනයන් සහ සමාගම්වලට බදු පැහැර හැරීමේ අවස්ථාව සහ බදු විරාම ලබා දීම හරහා කිහිප දෙනෙකුට දිගින් දිගට ම මෙරට ධනය කොල්ලකෑමට සහ පැහැර ගැනීමට ඉඩ සලසා දී ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආයතනික බැඳුම්කර හිමිකාරීත්වයන් අතහැර, විශ්‍රාම වැටුප් අරමුදල් වෙන්කර ගැනීම එම ක්‍රියාවලියේ දී සිදු කරන ලද පැහැදිලි අසාධාරණයක් සහ ඛේදජනක ක්‍රියාවක් වේ.
  5. අධිභාර පැනවීම් ද ඇතුළුව ඉහළ පොළී අනුපාත ගෙවීමට සිදුවීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අනෙකුත් බාහිර ණය හිමියන්ට ඇති ණයගැතිභාවය වැඩිවීම පමණක් සිදු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් පහත සඳහන් හේතූන් මත වර්ධනය, නැවත යථා තත්ත්වයට පත්වීම සහ ආදායම් උත්පාදනය පවා අඩපණ කරයි:
  • මූලික අතිරික්ත තිබිය යුතු වීමේ කොන්දේසිය මගින් රාජ්‍ය ආයෝජන අඩු කරයි.
  • උද්ධමන අනුපාතය ඉලක්ක කිරීම සහ ඉහළ පොළී අනුපාත නිර්මාණය කිරීම නිෂ්පාදනය හා වර්ධනය අඩාල කරන අතර, ජීවනෝපාය සහ කුඩා ව්‍යාපාර කඩා වැටීමට පවා හේතු වෙයි.
  • ආර්ථිකය තවදුරටත් හැකිළීම බදුකරණය හරහා ආදායම් ගලනය වීමේ හැකියාව සීමා කරයි, සහ
  • ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති උත්පාදක ධාරිතාවය මොට කරයි.

වර්තමාන තත්ත්වයන් මගින් ශ්‍රී ලංකාවේ මහජනතාව මත ඇති කරන බලපෑම සලකා බැලීම සඳහා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැහැදිලි ක්‍රියාමාර්ග ගෙන නොමැති මෙම තත්ත්වය තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිවිල් සමාජය සමග සිදු කරන අදහස් විමසීම් ධනාත්මක ප්‍රතිඵල ඇති කිරීමට හේතු වන සැලකිය යුතු වෙනස්කම්වලට මග පාදන්නක් ලෙස සැලකීමට පහත අත්සන් කර ඇති අපට හැකියාවක් නැත. වෙනස්කම් වලට. ප්‍රමුඛතාවය විය යුත්තේ අපගේ ජනතාවගේ පොදු යහපත ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්කිරීම සහ වැඩි දියුණු කිරීමයි.

2024 මාර්තු 19