ශිෂ්ට ලංකාවක් සඳහා රාජ්‍ය නිලධාරින්ට ආරාධනා !

ශිෂ්ට ලංකාවක් සඳහා රාජ්‍ය නිලධාරින්ට ආරාධනා !

අදාල අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත

මෙහි පහතින් ඉදිරිපත් කර ඇත්තේ ඔබගේ අමාත්‍යාංශයට හා ආයතනයට සෘජුව හා රේඛීය වශයෙන් අදාල කාරණා කිහිපයකි. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුල පිරුම සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම අමාත්‍යාංශ හා ආයතන ප්‍රධානීන් වශයෙන් ඔබ වෙත පැවරී ඇති බැව් අපි දනිමු.

මේ ශ්‍රී ලංකාවේ දසක කිහිපයක සිට වර්ධනය වන බරපතල සමාජ ආර්ථික බිඳ වැටීම් හා අර්බුද සඳහා සියලු වගකීම් දේශපාලන නායකයින්ට හා පාර්ලිමේන්තුවට බාරදී අත සෝදා ගැනීමේ පහසුව හමුවේ රාජ්‍ය නිලධරය තම සාමාජීය හා රාජකාරී වගකීමෙන් නිදහස්ව ඇත. පසුගිය වසරේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කමිටුවෙහි කෙරුණු විමර්ශන කිහිපයකදී හෙළි වූ තොරතුරු අනුව රජයේ ඉහළ නිලධරයේ අකාර්යක්ෂමතාව සමගවන යෝධ දූෂණ ගණනාවක් පිළිබඳව ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පවා එතෙක් නොදැන සිට ඇත. ඊටත් අමතරව දැනට ඖෂධ ජාවාරම් සම්බන්ධ කෙරෙන පරීක්ෂණ හා ඒ සබම්න්ධව පවරා ඇති නඩු කිහිපයෙන් රජයේ ඉහළම නිලධාරීන්ගේ පැටිකිරියෙන් බිඳක් දැක ගත හැකි විය.

එවැනි පිරිහීම් හමුවේ තව දුරටත් රාජ්‍ය නිලධරය අමතක කර, ඔවුන් ඔවුන්ගේ නිල කාර්ය වෙත බැඳ තැබෙන සමාජීය හා රාජකාරී වගකීම් පැවරීමකින් තොරව රටේ ප්‍රශ්න විසඳා ගත නොහැකි බැව් අපගේ දැඩි විශ්වාසය හා පිළිගැනුම වන්නේය. එනිසාම මෙහි පහතින් සඳහන් කාරණා සතු වගකීම් ඔබලා වෙත යොමු කිරීමට අපි තීන්දු කෙරුවෙමු. ඒ වෙනුවෙන් ඔබලාගේ සෘජු මැදිහත්වීම මෙතැන් සිට අපි අපේක්ෂා කරමු. එවගේම, මේ රටේ පුරවැසියන් වශයෙන් එම කාරණා සම්බන්ධයෙන් ඔබලා සමග ඉදිරියටත් ගනුදෙනු කරන්නට අපි බලාපොරොත්තුව සිටිමු.   

01. විවිධ සන්දර්භයන්හි සහ පාසල්වලද නිවෙස් වලද හිංසාකාරී ශාරීරික දඩුවම් කිරීම් (Corporal Punishment) සඳහාවන සියලු නෛතික අවසර වහා අහෝසි කළ යුතුය. හිංසාකාරී ශාරීරික දඩුවම් හේතුවෙන් දරුවන්    වැඩිමනත් ශාරීරික හා මානසික උවදුරු වලට නතු වන්නේ පාසල් හා නිවෙස්වල ය. දසක ගණනාවක් පුරා  ළමුන් යටත් කෙරුණු හිංසාකාරී ශාරීරික දඬුවම් මගින් පාසල් දරුවන් විනීත ආත්ම ගරුත්වයක් සහිත  ළමුන් බවට පත්ව නැත. ඊට පටහැනිව සිදුව ඇත්තේ හිංසාකාරී ශාරීරික දඩුවම් සඳහාවන අවසරය සමග  ළමුන්ට බරපතල ලෙස පහරදීම් දක්වා එය වර්ධනයවී ඇතැම් ළමුන් ජීවිතාන්තය දක්වා පවතින ශාරීරික  ආබාද වලටද නතුවීමය. ඒ සංඛ්‍යාව ඉතා පැහැදිලිව වැඩිවෙමින් ඇත. ලක්ෂ 40 ක් පමණ සිසු  සිසුවියන් අද ඉන්නේ ඉතා ආත්මාර්ථකාමී, ඉවසීමක් නොමැති විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ  ආධිපත්‍යයට යටත්ව ය. එබැවින් පාසල් හා නිවෙස්ද ඇතුළත්ව සියලු සන්දර්භයන්හි සහ සියලු තැන්හී  හිංසාකාරී ශාරීරික දඩුවම් වහා තහනම් කළ යුතුව ඇත. එය සාමකාමී විනයානුකූල ලාංකීය සමාජයක්  ඉදිරි පරම්පරාවන් සඳහා සහතික කිරීමක් වන්නේය.

02. ශ්‍රී ලංකාවේ දසක කිහිපයක්ම ඉතා සූක්ෂම ලෙස හා සංවිධානාත්මකව, මහ පරිමානයෙන් කෙරෙන  දූෂණය වන්නේ කොළඹ හා තවත් මහ නගර කිහිපයක ඉතා ජනප්‍රිය රජයේ පාසල්වල පළමු වසරට ළමුන්  ඇතුළත් කිරීමේ ජාවාරම ය. එය දසක ගණනාවක සිට ක්‍රියාත්මක කෙරෙන පදිංචි නිවසේ සිට පාසලට   තිබිය යුතු උපරිම දුර ප්‍රමාණයවන කි.මී.02 ක නීතිය උල්ලංඝණය කරන්නකි. එනමුත් අලුත්ගම,   ඇහැළියගොඩ, ගම්පහ සහ මීගමුව වැනි ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ මේ පාසල් වලට ළමුන්   ප්‍රවාහනය කිරීමේ පාසල් රථ සඳහා අවසර ලබාදී ඇත්තේ මන්දැයි කිසිවකු ප්‍රශ්න නොකරති. හිර කෙටුනු   වෑන් රථවල මේ දුර දරුවන් උදේ හවස ගමන් යන්නේ හරියාකාර කෑම වේලක් හෝ ගැනීමේ නිදහසක්   ඇතිව නොවේ. දෙමාපිය අධිමානය වෙනුවෙන් තම දරුවන් කෲර ලෙස යොදා ගන්නා මේ යෝධ  දූෂණය, ළමුන්ගේ යහපත වෙනුවෙන් වහා නතර කළ යුතුව ඇත. ආරම්භක පියවරක් ලෙස පාසල් වෑන්  හා බස් රථ 2025 සිට අදාල දිස්ත්‍රික්කයෙන් පිටත ළමුන් ප්‍රවාහනය කිරීම තහනම් කළ යුතු යැයි යෝජනා  කරමු. නගරයේ ප්‍රසිද්ධ ප්‍රධාන පාසල් වලට ඇතුළත් කෙරෙන දරුවන් කි.මී.02 ක දුර ඇතුළත පදිංචිව  සිටීදැයි වසර පුරා නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් තහවුරු කළ යුතු යැයිද එම කොන්දේසිය  උල්ලංඝණය කරනු ලබන දෙමාපියන්ට සහ ඇතුළත් කිරීම බාරව සිටි විදුහල්පතිට එරෙහිව අල්ලස් හා  දූෂණ චෝදනා මත නඩු පැවරිය හැකි නව නීතියක් නොපමාව සම්පාදනය කළ යුතුය.

03. පෞද්ගලික අංශයෙහි ලක්ෂ 20 ට වැඩි සේවක සංඛ්‍යාවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති  වෘත්තීය සමිතියකට බැඳීමේ හා වෘත්තීය සමිතියක් සංවිධානය කිරීමේ මූලික අයිතියත් සාමුහිකව කේවල්  කිරීමේ අයිතියත් අහිමි කරනු ලැබූවකි. සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීමේ පූර්ණ වගකීම   ඇත්තේ රජයට ය. එහෙත් පෞද්ගලික සමාගම් හා කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට වෘත්තීය  සමිති අයිතිය තීන්දු කිරීමේ බලය ඇත්තේ ආයෝජකයින්ට හා ව්‍යාපාරිකයින්ට යැයි කම්කරු අමාත්‍යාංශය   හා දෙපාර්තමේන්තුව නිගමනය කර ඇති හෙයින් රජයේ ව්‍යවස්ථානුකූල වගකීම දැන් මුළුමනින්  උල්ලංඝණය කෙරුනකි. එබැවින් පෞද්ගලික අංශයේ සියලු සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම්  හාම්පුතුන්ගේ අභිමතයට යටත් නොවන ලෙස ව්‍යවස්ථානුකූලව සුරැකීමේ පරම වගකීම කම්කරු  අමාත්‍යාංශයට හා දෙපාර්තමේන්තුවට මග හැරිය නොහැකිවන අයුරුද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14.1  අනු ව්‍යවස්ථාව වහා සංශෝධනය කළ යුතුය.

ඉහත යෝජනා සඳහා ඔබගේ නොමසුරු සහාය ලැබෙනු ඇතැයිද ඒවා නොපමාව ක්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍ය සමාජ කතිකාවක් ඔබ ගොඩ නගනු ඇතැයිද අපි විශ්වාස කරමු.

ඔබ සැමට ස්තුතියි.

ශිෂ්ටලංකාවක් සඳහා

සම්බන්ධීකරණය ක්‍රිශාන්ති මංගලා - සභාපති, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය

කුසල් පෙරේරා - දේශපාලන විචාරක හා සමාජ ක්‍රියාකාරී පිටපත් - පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් සියලු මාධ්‍ය වෙත

(විද්‍යුත් තැපෑලෙන් යොමු කරන හෙයින් මෙයට සාම්ප්‍රදායික අත්සන අවශ්‍ය නොවන්නේය)

Contact email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.   On mobile – 0773508328   WhatsApp – 0773508328