කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතියට කැබිනට් අනුමැතිය

women

කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම්වලට අදාළව කටයුතු කිරීම පිණිස අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීම කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කිරීම සහ 1979 දී කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතියට එළඹීමේ ප්‍රතිඵලයක් ලෙස, 1982 දී කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) පිහිටුවන ලදී.

එකී සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති අතර, ඊට අනුකූල වන පරිදි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, නීති සම්පාදනය කිරීම සහ අවශ්‍ය පරිදි කාලීන වාර්තා සැපයීම සම්බන්ධයෙන් වගකීමට බැඳී ඇත.

කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවට අදාළව කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ/ආයතන සමඟ එක්ව කාන්තා කටයුතු විෂය භාර අමාත්‍යාංශය විසින් සෑම වසර 04කට වරක්ම කාලාන්තර වාර්තාවක් සකස් කිරීම සිදු කරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් සකස් කරන ලද නවවන (09) කාලාන්තර වාර්තාව, 2025 පෙබරවාරි 03 දින සිට 21 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 90වන සැසි වාරයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඒ සඳහා එම සැසි වාරයේදී සිදු කරනු ලැබ ඇති අවසන් නිරීක්ෂණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පැවති සමාලෝචනයකදී අනිවාර්ය වාර්තාකරණය සහ පසුවිපරම් කිරීමේ වගකීම  සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව කටයුතු කිරීමට හැකි වන පරිදි සහ අදාළ ප්‍රතිපත්තිමය තීරණයන්ට එළඹීම සඳහා අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.