නව දන්ත ශල්‍ය වෛද්‍ය බඳවා ගැනීම කඩිනම් කිරීමට පියවර

නව දන්ත ශල්‍ය වෛද්‍ය බඳවා ගැනීම කඩිනම් කිරීමට පියවර
  • ජාතික චිකිත්සක කමිටුවට දන්ත වෛද්‍යවරුන්ගේ නියෝජනයක් ඇතුළත් කිරීමට පියවර.
  • ජාතික මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවධානය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය සංගමයේ (Government Dental Surgeons' Association - GDSA) නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එහි දී ඉහත කරුණු අනාවරණය විය.

මෙම සාකච්ඡාවේ දී රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය සංගමයේ  නිලධාරීන් සිය වෘත්තීය ගැටළු මෙන්ම සිය සේවා කටයුතු සිදු කිරීමේ දී අභියෝගයක් ව පවතින මානව හා භෞතික සම්පත්  ආශ්‍රිත  කරුණු රැසක් පිළිබඳව  සහ  දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබීය.

ඒ අනුව ජාතික මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දන්ත නිෂ්පාදන නියාමනය ඉවත් කිරීම, වෛද්‍ය සැපයුම් හිඟය සහ ප්‍රසම්පාදන කටයුතු, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - දන්ත වෛද්‍ය පීඨයේ කටයුතු බාහිර රෝගී ඒකකයන් තුළ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සමාලෝචන සැලසුම් කිරීම මෙන් ම නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සහ වැටුප් ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙහි දී  සාකච්ඡා  සිදුකරන ලදි.

නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සඳහා අනුමැතිය කඩිනමින් ලැබෙනු ඇති බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙහි දී විශ්වාසය පළ කරනු ලැබීය. පත්වීම ප්‍රමාද වීම හේතුවෙන් දැනට දුෂ්කර සේවයේ නියතුව සිටින දන්ත ශල්‍ය වෛද්‍යවරුන් මුහුණපාන ගැටළු පිළිබඳ අවධානය යොමු කර පත්වීම් කඩිනම් කිරීමේ කටයුතු පිළිබඳව ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට මෙහි දී උපදෙස් දුන් අතර, වැටුප් ගැටළුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව ද අවධාරණය කරන ලදි.

ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් (මුදල් අමාත්‍යාංශයේ) ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ම ජාතික මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය නිසාවෙන් දැනට ප්‍රමාදයක් ඇති වී ඇති බවත්, මෙය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස මෙහි දී දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ අතර,  ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු විගසම එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.

රජයේ රෝහල් තුළ දන්ත ශල්‍ය වෛද්‍ය ඒකක වල ඇති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වූ අතර, ඒ පිළිබඳව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා ද කරුණු පැහැදිලි කරන ලදි.

ජාතික චිකිත්සක කමිටුවට දන්ත වෛද්‍යවරුන්ගේ නියෝජනයක් ඇතුළත් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත මෙහි දී උපදෙස් ලබාදෙන ලදි.

සායනික පුහුණුව ආරම්භ කරන සිසුන්ගේ ගැටළු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සඳහා වන එකම වෘත්තීය සමිතිය ලෙස, රජයේ දන්ත වෛද්‍ය සේවය තුළ තම සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටීම, ඔවුන්ගේ හඬට සවන් දීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් වෘත්තීය සංවර්ධන මුලපිරීම්වල ක්‍රියාකාරීව නිරත වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය චන්දන ගජනායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස්, රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නඳුන් ධම්මික, ලේකම් වෛද්‍ය අරුණ අභයවර්ධන මහතා ඇතුළු රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය සංගමයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.