ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය සිය ධූරයේ රාජකාරී ආරම්භ කරයි

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය සිය ධූරයේ රාජකාරී ආරම්භ කරයි

අභිනව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය පසුගිය දා නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී එම තනතුරේ රාජකාරී ආරම්භ කළා ය.

ඊයේ දින ගරු ජනාධිපතිතුමා විසින් 2026 අයවැයට සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනූව  ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යධූරයට පත් කෙරුණි.

සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය යටතේ ලබා දුන් පොරොන්දු මාලාව යටතේ මේ වන විට වැඩකටයුතු රාශියක් ආරම්භ කර ඇති බවත්, ඉදිරියටත් එම වැඩකටයුතු රාශියක් සිදු කිරිමට තිබෙන බවත් මෙහි දී සිහිපත් කළාය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය වැදගත් කාර්ය භාරයක් ඉටුකරන කේන්ද්‍රීය අමාත්‍යාංශයක් වන බවත්,  වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තිය සේම රාජ්‍ය යාන්ත්‍රනය දේශීය හා ජාත්‍යන්තරයට පිළිබිඹුවන කැඩපත ජනමාධ්‍ය බව ද ඇය පෙන්වා දුන්නාය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියේ සඳහන් පරිදි යහපත් ජනමාධ්‍ය කර්මාන්තයක්, සමබර තොරතුරු සමාජයක් යනුවෙන් නව රජයේ වැඩ කටයුතු රාශියක් සිදුකිරීමට ඇතිබව සිහිපත් කළ අමාත්‍යවරිය වර්තමානයේ වගකීම් සහගත ජනමාධ්‍යකරණයක් මෙරට ඇති කිරීමටත්,  මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහාත් එමෙන්ම වගකීම් සහගත ජනමාධ්‍යකරණය පිළිබඳ වගකීම් සමාජය තුළ ඇති කිරීමත්, එහි සමබරතාවය ඇති කිරීම සඳහාත්, ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වත්මන් රජයේ ප්‍රධාන අභියෝගය වී තිබෙන බව ද පැවසුවාය. සියලු දෙනාගේ ම සහයෝගයෙන් එම ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට හැකිවෙනු ඇතැයි ද ඇය මෙහි දී වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය වෛද්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, තැපැල්පති  රුවන් සත්කුමාර, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් යන මහත්ම මත්මීන් ඇතුළුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින්  පිරිසක්ද සහභාගි වී සිටියහ.