පරිපූරක වෛද්‍ය සේවාවේ පුරප්පාඩු රැසක්, බඳවා ගැනීම් ප්‍රමාදයි, රෝග විනිශ්චය සේවා සහ ප්‍රතිකාරක සේවා කඩා වැටීමේ අවදානමක පවතින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම්, චානක ධර්මවික්‍රම මහතාගේ අත්සනින් මාධ්‍ය නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පරිපූරක වෛද්‍ය සේවාවට අයත් විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ,වෘත්තීය චිකිත්සක භෞතචිකිත්සක, ඖෂධවේදී, කථන චිකිත්සක, ශ්‍රවණවේදී වෘත්තීය කණ්ඩායම් 7 හි සුවිශේෂී නිලධාරීන් හිඟයක් පැවතීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල එම නිලධාරීන් විසින් සිදුකරනුු ලබන සේවාවන්හි අඩාල වීමක් මේ වන විට උද්ගතවීී ඇත. සමස්තයක් ලෙස ගත් කල අනුමත සේවක සංඛ්‍යාවෙන්15% සිට 35% දක්වා බරපතළ හිඟයක් පවතින අතර මෙම අනුමත සේවක සංඛ්‍යාව මීට වසර දහයකට පමණ පෙර අනුමත වූ අගයක් වන වර්තමාන රෝහල් පද්ධතියේ අවශ්‍යතාවය සැලකුවහොත් එම අගය කිහිපගුණයකින් වැඩිවනුු ඇත. (දැනට අනුමත නිලධාරී ප්‍රමාණය - 6859, පුරප්පාඩු ප්‍රමාණය -1323 සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනුව මෙම තොරතුරු ප්‍රකාශයට පත් කලත්, මීට වඩා පුරප්පාඩු ප්‍රමාණයක් මේ වන විට සේවාව තුළ නිර්මාණය වී ඇත. කෙටි කාලීනව විදෙස් නිවාඩු ලබා ඉවත් වූ හා සේවය අතහැර ගිය සත්‍ය ප්‍රමාණයකගේ තොරතුරු නිවැරදිව යාවත්කාලීන වී නොමැත)
මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අවස්ථා ගණනාවකදීම දැනුවත් කර ඇතත් මේ වනතෙක් මේ සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් සිදුවූ නොකිරීම කණගාටුවට කරුණක් වී ඇත.
විශේෂයෙන්ම පසුගිය කාලය පුරා සහ මේ වන විටත් මෙම සේවාවන්වල නිරත වන නිලධාරීන් ඉතා සීඝ්‍ර අන්දමින් විදෙස්ගත වීම සහ සේවයෙන් ඉවත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත. එසේම දැනට උපාධිධාරීන්ගේ බඳවා ගැනීම් අඩාල වීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් බරපතල වී ඇත.
විශේෂයෙන්ම මෙම සේවය අතහැර යන හෝ විදෙස් ගතවන නිලධාරීන් සේවාව තුළ රඳවා ගැනීම සඳහා ඔවුන්ට සුදුසු සේවා තත්ත්වයක් නිර්මාණය කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වූවත් ඒ සඳහා කිසිදු විධිමත් වැඩ පිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන තෙක් ක්‍රියාත්මක කොට නොමැත. විශේෂයෙන්ම වැටුප්, දීමනා සහ සේවා තත්ත්වය පිළිබඳව බරපතළ ගැටලු පවතින මෙම සේවාවන් තුළ උපාධිධාරී නිලධාරීන්ට තවමත් ලබා දෙන්නේ ඩිප්ලෝමාදාරීන්ට ලබා දෙනු ලබන වැටුප් සහ දීමනාවන් වෙයි. මෙම තත්ත්වය හේතුවෙන් සේවාවට නිලධාරීන් ආකර්ෂණය කර ගැනීම බරපතල ගැටළුවක් වී ඇත.
වසර ගණනාවක් තිස්සේ ඇදී යන වැටුප් සහ දීමනා විෂමතාවය හේතුවෙන් සේවාවට නිලධාරීන් ආකර්ෂණය කර ගැනීමට අපහසුවීම සහ ඔවුන් රටවල් තුළ රඳවා ගැනීම බරපතළ ආකාරයේ ගැටලුවක් වනවා සේම මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩාවැටීමක් කෙමෙන් කෙමෙන් නිර්මාණය වෙමින් පවතී.
මේ වන විට නැවතී ඇති නවක නිලධාරීන් බඳවා ගැනීම් කටයුත්ත කඩිනම් කළ යුතු අතරම දැනට සේවාවේ රැඳී සිටින නිලධාරීන් තවදුරටත් සේවාව තුළ රදවා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් කඩිනමින් සකස් කල යුතු බව සෞඛ්‍ය බලධාරීන්ට මේ වන විටත් දැනුම් දී ඇත.
රජයේ දෙවන අයවැය ප්‍රකාශනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර පරිපූරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරීන්ගේ මෙම ගැටලූ විසඳීමට යම් මැදිහත්වීමක් එමඟින් යෝජනා කරනු ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

