සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙනුත් සෞඛ්‍ය හදන්න අලුත් යෝජනා

acmoa

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතීන් විශිෂ්ට අයුරින් පවත්වාගෙන යාම සදහා වෛද්‍යවරුන් ලබා දෙන දායකත්වය නිරන්තරයෙන් අගයකරන බවත්, සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතීන් උසස් තලයකට ගෙන ඒම සදහා වෛද්‍ය සංගම්වල ධනාත්මක අදහස් සහ යෝජනා අතිශය වැදගත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මණ්ඩල නියෝජිතයින් පිරිසක් සමග (11) දින පැවති විශේෂ සාකච්ජාවකදීය. එම සාකච්ජාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම සාකච්ජාව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ ඉල්ලීමක් පරිදි සංවිධානයකර තිබූ අතර එහි දී සංගමයේ නියෝජිතයන් සිය රාජකාරී ඉටු කිරීමේදී ඔවුනට බලපාන වෘත්තීය ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබීය. එමෙන් ම තම සේවා කටයුතු සිදු කිරීමේ දී රජයේ රෝහල් පද්ධතිය තුළ මෙන්ම සෞඛ්‍ය ආයතනවල මේවන විට යම් අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කරන ලදී.

එමෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම නව්‍ය යෝජනාවන්ද අමාත්‍යවරයා සමග මෙහි දී දිර්ඝව සාකච්ජා කරනු ලැබීය. තව ද, වෛද්‍යවරුන්ට ප්‍රවාහන පහසුකම් සඳහා ඉන්ධන දීමනාවක් ලබා ගැනීම, අඩු පොලී ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් යන කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්‍ඡා විය.

මෙහි දී වෛද්‍යවරුන් ඉදිරිපත් කළ කරුණු පිළිබදව අමාත්‍යවරයා අවධානයක් යොමුකරමින් මුදල් අමාත්‍යංශය ඇතුළු අනෙකුත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර කඩිනමින් ලබාදිය හැකි සහන ලබාදීමට සලකා බලන බව සඳහන් කළේ ය. මෙහි දී ඉදිරිපත් වු සාධනීය කරුණු ගණනාවක් පිළිබඳව ද අමාත්‍යවරයා දීර්ඝව සාක‍ච්ඡා කරන ලදී.

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතීන් ඉහළ තලයකට ගෙන ඒමත්, මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවතවත් කාර්යක්ෂමව වර්ධනය කිරීමත්. සමස්ත ජනතාව බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීමත්, ප්‍රමුඛ අරමුණ කරගනිමින් දීප ව්‍යාප්තව ස්ථාපිතකරන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් වෛද්‍යවරුන් ප්‍රමුඛ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ වගකීමක්, වගවීමක් පැවරෙන බව ද  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී  වැඩිදුරටත් පැවසීය.

විසදුම් ලබා දිය හැකි ගැටළුවලට එම මොහොතේම නිලධාරීන් සමග සාකච්ජා කොට විසදුම් ලබා දීමට අමාත්‍යවරයා මෙහි දී පියවර ගත් අතර අනෙකුත් කරුණුවලට  කඩිනමින් විසදුම් ලබා දීමට ඇති හැකියාව පිළිබදව ද අමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කරන ලදී.

මෙම සාකච්ජාව සදහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් විශාල පිරිසක්  දිවයින පුරා ස්ථාන රැසක සිට සූම් තාක්ෂණය ඔස්සේ සම්භන්ධ වීම ද විශේෂත්වයකි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අජිත් කුමාර, ලේකම් වෛද්‍ය චින්තක හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළුව වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.