පොඩි ඇඟක්..
සැර කටක්...
හයිය හිතක් ...
කාටවත් නැමුනෙ නැති කොන්දක්...
රටම ආදරය කළ හඬක් තිබුණ,
චිත්‍රා කුමාරි කළුබෝවිල....
චිත්‍රා හෙවත් ගුවන් විදුලියේ මගේ ලොක්කි.....යන්න තව ගොඩක් කල් තියෙද්දී වේලපහින්ම යන්න ගියා.
තවම අවුරුදු හැට අටයි.
මට ගුවන් විදුලියට යන එක හීනයක් වෙච්ච කාලේ චිත්‍රට ගුවන් විදුලිය ගෙදර වගේ. දවල්ට යන සමහර ප්‍රෝග්‍රෑම්වල එයාගේ හඩ තමයි මියුරු සරය වුණේ. විශේෂයෙන් අසන්නන්ගේ ඉල්ලීම් මෙයා ඉදිරිපත් කරන කොට මට එයා ලවා නම කියවා ගන්න පුදුම පෙරේතකමත් තිබුණේ.
පස්සෙ කාලෙක මං ගුවන් විදුලියට ආවහම මං එයා එක්ක වැඩිය පයිරු
පාසානමට ගියේ නැහැ.මොකද කොරිඩෝවේ ගියත් හරි හයියෙන් කතා කර කර ගියේ. ඇඟ පොඩි වුණාට ඒ හඬ පෞරුෂයට මට තිබුණේ ලංවෙන්න පොඩි බයක්.
ඕනැ යකෙක්ට කට ඇරලා කන පිරෙන්න කියන්න තියෙන දේ කියනවා.හඬ උස් වුණාට පාවිච්චි කරන වචන සංවරයි. වචනයට අදාල බර දාලා තමයි හැබැයි ප්‍රකාශ කරන්නේ. චිත්‍රගේ ළඟ තොඳොල් වචන කතා තිබුණේ නැහැ.එක දිගට වාක්‍ය කියාගෙන ගියේ නැහැ. කෙටි වාක්‍යවලින් දමලා ගහනවා. ඒ නිසා ඒවා හරි මුවහත්. මම ඉතින් ටිකක් කිට්ටු වෙන්න බයෙන් හිටියා.
ගුවන් විදුලියට ගිහිල්ලා අවුරුදු පහකට විතර පස්සේ තමයි මමයි චිත්‍රයි සමීප ඇසුරකට ආවේ.News Room එකේ දී අපි දෙන්න හමුවෙලා සමීප වුණාට පස්සේ අපි දෙන්නා කැන්ටින් තේ ජෝඩුවක් වුණා. හැමදාම නිව්ස් එකට කලින් අපි දෙන්නා තේ ඒකක් බොන්න යනවා.
මට ගුවන් විදුලියේ "උපුලා" කියලා කතා කළ එකම කෙනා චිත්‍රා.
පස්සේ කාලෙක එයා අපේ පවුලේ ඥාතියෙක් තරමට කිට්ටු වුණා.
චිත්‍රා කියන්නේ රම්‍යා වණිගසේකරට පස්සේ ගුවන් විදුලියට අනන්‍ය වුණ ප්‍රධාන කාන්තා හඬ පෞරුෂය.ඒ හඬ කොතන කොහොම ඇහුනත් අසන්නෝ දන්නවා ඒ චිත්‍රා කියලා.
ලංකාවේ ප්‍රසංග වේදිකාවේ පළමු නිවේදිකාව මම දන්න හැටියට චිත්‍රා.ප්‍රසංග වේදිකාවක් ප්‍රේක්ෂකයන් සමඟ සජීවීව ප්‍රාණවත්ව තබා ගනිමින් වේදිකාවයි වේදිකාවෙන් බිම ඉන්න ආවේස වුණ තරුණයොයි බැලන්ස් කරන්න පුළුවන් හඩක් සහ හිනාවක් චිත්‍රට තිබුණා.මම දන්න තරමින් චිත්‍රා නිවේදන කටයුතු කළ කිසිම වේදිකාවකට ප්‍රේක්ෂකයෝ ගලක් ගහලා නැහැ.
චිත්‍රට තිබුණේ පුදුම PR එකක්.ඕන තැනක කවුරු හරි හිනා වුණොත් එයාම ළඟට ගිහිල්ලා කතා කරනවා. සමහර වෙලාවට එයාගේ අතින් අල්ලා ගෙනම කතා කරලා ඒ රසිකයාට අමතක නොවන මතක හමුවක් ඉතිරි කරලා තමයි චිත්‍රා එයා ගෙන් වෙන් වෙන්නේ.පුදුම නිහතමානීකමක් තිබුණේ.ඔය ගැන දවසක් මම අහනකොට කිව්වේ " අනේ උපුලෝ ඒ මිනිස්සුත් එක්ක ටිකක් වෙලා කතා කරලා ගියාට මගේ ඇඟේ කෑල්ලක් හැලෙන්නේ නෑ නේ" කියලා.ගමන ප්‍රමාද වුණත් බස් එක ගියත් එයා අර මනුස්සයත් එක්ක හොඳට කතා කරලා තමයි යන්නේ.
එක්තරා කාලෙක චිත්‍ර දැඩි ශෝකබර කෝපයකින් ජීවත් වුණේ.ඒ කාලේ අපි හමු වුණාම සමහර හැන්දෑවල මට අහන්න ආඩපාලි හෑල්ලක් කියනවා. සමහර වෙලාවට අතීත රස කතා කියනවා.
එයාට ඇති වෙනකන් කියන්න දීලා මම අහගෙන ඉන්නවා. ගුවන් විදුලිය තමන්ගේ දෙවැනි ගෙදර ලෙස චිත්‍රා සැලකුවාට ඒ ගෙදර අය චිත්‍රට සැලකුවේ හදාගත්ත දරුවෙක් විදිහටයි.
එයාගේ හැකියාවට එයා ගුවන් විදුලියට කළ කැපකිරීම්වලට එයාට ගුවන් විදුලිය කළ ගුණ දැක්වේ නැහැ කියන එක තමයි එයාගේ හිත පිරිලා තිබුණ අදහස වුණේ.
එයා මීට අවුරුදු කීපයකට කලින් මේ වගේම බරපතල ලෙස අසනීප වුණා.හොඳටම සුවපත් වෙලා ගුවන් විදුලියට ආවට පස්සේ දවසක් අපි දෙන්නා ගුවන් විදුලිය ඉස්සරහ අඹ ගහ යට පැය තුනක් එක දිගට හිටගෙන කතා කළා.
පුදුම ඛේදජනක පුරාවෘත්තයක් එයා ඉදිරිපත් කළේ.එදත් මම අහගෙන හිටියා.මට වෙන කරන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. කියන්න කෙනෙකුත් නැහැ. කිව්වට උන් අහන්නෙත් නැහැ.
පස්සෙ කාලෙක එයාට ලොකු තනතුරක් ලැබුණා.හැබැයි ඒ වෙනකොට එයා ඒ තනතුරක් ලැබිලා ලබන්න තිබිච්ච සතුටෙ කාලය ඉක්මවෙලා තිබුණේ."මේවා දැන් ලැබිලා වැඩක් නැහැ උපුලෝ.මෙව්ව හරියට මරණාසන්න මිනිහට අට පිරිකර අත ගස්සනවා වගේ දෙපාර්ශ්වයම රවට්ටන වැඩ" කිව්වා.
ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ගුවන් විදුලියට ආව ගිය චිත්‍රාට අවසාන දවසෙත් ගුවන් විදුලියට එන්න ඉඩ හසර හදලා දෙන්න කවුරුත් හිතුවේ නැති එක ඉදිරිපත් නොවීම නම් හරිම දුකක්. නිවැරදි කළ නොහැකි වරදක්.
නමුත් චිත්‍රා කුමාරි කළුබෝවිල කියන්නේ මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ සෙල් ලිපියක්.

| උපුල් ජනක ජයසිංහ

