2025 විද්‍යුත් විකාශන සමුළුව කොළඹ දී

2025 විද්‍යුත් විකාශන සමුළුව කොළඹ දී

මෙරට ජීවත්වන පුරවැසියාගේ චින්තනය උසස් කිරීමකින් තොරව අප බලාපොරොත්තු වන රට ගොඩනැගීමට නොහැකි බවත්, එය දේශපාලඥයාගේ කාර්යයක් පමණක් නොවන බවත්, මෙරට ජීවත්වන පුරවැසියාගේ චින්තනය උසස් කිරීමේ කාර්ය සිදුකළ හැකි ඉහළම කණ්ඩායම විද්‍යුත් විකාශකයින් බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යුත් විකාශකයින්ගේ සංගමය එක්ව සංවිධානය කළ විද්‍යුත් විකාශන සමුළුව 2025 (Broadcasting Symposium) සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි. සමුළුව (25) දින පෙරවරුවේ සිනමන්  ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

මෙම විද්‍යුත් විකාශන සමුළුව සඳහා ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, මාධ්‍ය විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් අභියෝග, වගකීම්, සාදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ අනාගත අපේක්ෂාවන් ආදී කරුණු පිළිබඳ මෙම සමුළුවේ දී පුළුල් කතිකාවතක් සිදුවිය.

විද්‍යුත් විකාශන සමුළුව සැසි 04 කින් සමන්විත එක්දින වැඩමුළුවක් වූ අතර ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටළු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබදව ද මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්විණි.

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය මෙරට පුරවැසියා සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන්  මැදිහත්වන සහ ශ්‍රී ලංකාව පහුගිය කාලයේ විවිධ අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවන්වල දී  තම කාර්යභාරය ඉතාම ඉහළින් ඉටු කළ සංගමයක් බවත්, මෙරට ට අවශ්‍ය වන්නේ එවැනි සංගම් බවත්. ඒ වෙනුවෙන් සිය ගෞරවය ද පිරිනමන බව ද අමාත්‍යවරයා මෙහි දී  පැවසී ය.

මාධ්‍ය ලෝකයේ තරගකාරීත්වය පිළිබඳව සහ එහි සමාජ වගකීම් පිළිබඳ ද ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වෙමින් මෙවන් කතිකාවක් සංවිධානය කළ කණ්ඩායමකට නායකත්වය ලබා දීමට හැකි වීම මාධ්‍ය ඇමතිවරයා ලෙස තමන් ලැබූ භාග්‍යක් බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

දශක 5 කට අධික කාලයක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අපරිමිත සේවාවක් ඉටුකළ සහ මෙම සමුළුව සඳහා විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගි වූ ශාන් වික්‍රමසිංහ මහතාට විද්‍යුත් විකාශකයින්ගේ සංගමය මගින් ගෞරව හරසර ප්‍රණාම මෙහි දී පුදකළ අතර ඒ වෙනුවෙන් ප්‍රණාම තිළිණයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ශාන් වික්‍රමසිංහ මහතාට මෙහි දී ප්‍රදානය කර ලදී.

ඉන්දුනීසියාවේ ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සහ පුවත්පත් කලාව පිළිබද මහාචාර්ය මස්ඩුකී මහතා( Professor Masduki) විසින් මෙහි දී ප්‍රධාන දේශනය පවත්වන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, නාලිකා ප්‍රධානීන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්, මාධ්‍ය වෘත්තියින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.