ප්‍රකාශනයේ නිදහස හා ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය කෙරෙහි රජය සිය වගවීම ප්‍රදර්ශනය කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මානව හිමිකමි කොමිෂන් සභාව HRC/S/i/E/03/02/26 අංකය ඇතිව නිකුත් කළ නිවේදනය කෙරෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි අවධානය යොමු කර ඇත. එය සාමාජිකත්වය දරන ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය ඇතුළු ගෝලීය පාර්ශවද දැනටමත් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන බව දන්වා ඇත.
අදාළ නිවේදනයෙහි ඉතා දීර්ඝව කරුණු පැහැදිලි කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රකාශනයේ නිදහස සහ ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු පැන නැඟී ඇති බවයි. ඒ සඳහා විශේෂයෙන් හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ ක්‍රියාකාරකම් වේ. මෑතකාලීනව පොලීසිය හැසිරී ඇති ආකාරය අනුව මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට පවා අනියමින් බලපෑම් සිදුව ඇති බව මානව හිමිකම් කොමිසම සිය නිවේදනයේ පෙන්වා දී ඇත.
පොලිස්පති චක්‍රලේඛද උල්ලංඝනය කරමින් පැහැදිලි හේතුවක් නොදන්වා මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රියාකාරීන් පොලීසිය ඉදිරියට කැඳවීම පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව අවධානය යොමු කර ඇත. ඇතැම් සිදුවීම්වලදී පොලීසිය පවසා ඇත්තේ මාධ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් වන අපහාසය නිසා මාධ්‍යවේදීන් පොලීසියට කැඳවූ බවයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති ප්‍රකාශනයේ නිදහස සීමා වන්නේද ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන තුළමය. ඒ අනුව තවදුරටත් අපරාධමය වරදක් නොවන අපහාසයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලයක් නැත. එය අධිකරණය හමුවේ විසඳා ගත යුතු සිවිල් වරදකි. ඒ වෙනුවට දේශපාලනඥයින් ඇතුළු ඇතමුන් අපහාස කිරීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරීමට උත්සාහ ගැනීම අපහාසය අපරාධමය වරදක් ලෙස හුවා දැක්වීමට ගන්නා උත්සාහයක් ලෙසද මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත.
ඒ අතර මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිවේදනයෙහි ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනත සම්බන්ධයෙන්ද කරුණු දක්වා ඇත. ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු නමුත් වත්මන් පනත සැබෑ අවශ්‍යතා ආමන්ත්‍රණය නොකරන බව කොමිසම සිය නිවේදනයේ පෙන්වා දෙයි. එබැවින් දැනටමත් බොහෝ පාර්ශව ඉල්ලා ඇති පරිදි මෙම පනත අහෝසි කිරීම රජයට කළ හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව අනුකූලතාව ප්‍රකාශ කර ඇති පරිදි ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා එළඹිය යුතු ප්‍රවේශ ත්‍රිත්වයක්ද මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිවේදනයේ දක්වා ඇත.
මෙම නිවේදනය කෙරෙහිද, එමඟින් අවධාරණය කරන නිර්දේශ කෙරෙහිද ශ්‍රී ලංකා රජය බරපතල ලෙස සැළකිලිමත් විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි. මෙය ශ්‍රී ලංකා රජයේ වගවීම ප්‍රශ්න කරනු ලබන මොහොතකි. එබැවින් මෙම නිවේදනයේ සඳහන් නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී.

