ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමටත්, යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTA) හකුළා ගැනීමටත් බල කරමින් චාවකච්චේරි නගර සභාව ඇතුලු උතුරු පළාතේ තවත් පාලාත් පාලන අයතන කිහිපයක් සම්මත කළ යෝජනාව, 'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA)' ලෙස අපි අතිශය ගෞරවයෙන් අගය කරමු. මෙය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සටහන් වනු ඇත.
දැඩි දේශපාලන බලපෑම් සහ විවිධ විරෝධතා මධ්‍යයේ වුවද, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උදෙසා පෙනී සිටීමට නගර සභාව ගත් මෙම තීරණය නූතන දේශපාලන සංස්කෘතියට සපයන ලද අගනා ආදර්ශයකි.
මෙම තීරණයේ වැදගත්කම පිළිබද 'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය' කරුණු කිහිපයක් ඔස්සේ අවධාරණය කිරීමට කැමැත්තෙමු.
මර්දනයට එරෙහි ස්ථාවරය: දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පුරවැසියන් දැඩි ලෙස පීඩාවට පත් කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) එරෙහිව නීතිමය සහ සදාචාරාත්මක ස්ථාවරයක් ගැනීම යුක්තිගරුක සමාජයක අපේක්ෂාවයි.
ප්‍රජාතන්ත්‍රවාදී වගවීම: මහජන නියෝජිතයන් යනු ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරමින්, ඒවා ආරක්ෂා කරන්නෝ මිස මර්දනකාරී නීති රීති සකස් කරන්නෝ නොවන බව උතුරේ, දෙමළ දේශපාලන නියෝජිතයන්ගේ මෙම යෝජනාව මගින් යළිත් තහවුරු කර ඇත.
ජාතික සමගිය උදෙසා පණිවුඩය: උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් විසින් ගනු ලැබූ මෙම පියවර, සමස්ත ලංකාවාසී ජනතාවගේම නිදහස සහ සාධාරණත්වය උදෙසා කෙරෙන බලපෑමක් ලෙස අපි දකිමු.
චාවකච්චේරි නගර සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු සියලුම නියෝජිතයන් විසින් පෙන්නුම් කළ මෙම නිර්භීතභාවය, රටේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟ ශක්තිමත් කරන්නකි. අයුක්ති සහගත, මර්දනකාරී නීති රීතිවලට එරෙහිව මෙවැනි හඬවල් අවදි වීම, ප්‍රකාශනයේ නිදහස ඇතුලු මානව අයිතිවාසිකම් මත ගොඩනගන සමාජයකට අත්‍යවශ්‍ය සාධකයක් බව අපි විශ්වාස කරමු.
මෙම අභිමානවත් තීරණයට අපගේ උපරිම සහයෝගය සහ ගෞරවය මෙයින් ප්‍රකාශ කර සිටින අතර, මෙම තීරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය සඳහා ඉතාමත් වැදගත් පියවරක් බව අපි විශ්වාස කරමු.
අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය(IMA)

