වෘත්තීය සමිති කාන්තා නායකත්ව බාධක ඉවත් කර ස්ත්‍රී කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු; සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කරමු - වැඩකරන කාන්තා මධ්‍යස්ථානය

වෘත්තීය සමිති කාන්තා නායකත්ව බාධක ඉවත් කර ස්ත්‍රී කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු; සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කරමු - වැඩකරන කාන්තා මධ්‍යස්ථානය

2026 ජාත්‍යන්තර කාන්තා දිනයේදී වැඩකරන කාන්තා සංගමය(CWW)  ගල්ෆ් රටවල්වල යුද්ධ තත්ත්වයන් නිසා මුහුණ දෙන ශ්‍රී ලංකාවේ මිලියනයකට අධික ස්ත්‍රී කම්කරුවන්ගේ (විශේෂයෙන් ගෘහ සේවිකාවන්) ජීවිත ආරක්ෂාව, රැකියා අයිතිවාසිකම් සහ රට තුළ කම්කරු ස්ත්‍රී නායකත්වය සහ කම්කරු අයිතිවාසිකම් තහවුරු කිරීම ආණ්ඩුව විසින් ගත යුතු අත්යවශ්ය පියවරයන්  ලෙස අවධාරණය කරමු. විශේෂයෙන් 2025 වසරේදී ඔවුන් එවූ US$8 බිලියන දිගුකාලීන විදෙස් ප්රේෂණ ආර්ථිකයේ 8%ක් සපයා දරිද්රතාවය අඩු කර ඇති නමුත්, මේ මොහෝතේ මැද පෙරදිග කලාපයේ ඇවීලීයන යුද්ධයෙන් වින්දිතයන් බවට පත් නොකිරීම රජයේ සාමාජික වගකීමක් ලෙස අපි දකිමු.

එමෙන්ම ඇඟළුම් ක්ෂේත්රයේ බහුතරය නියෝජනය ස්ත්රීන් වන අතර, වතු කම්කරුවන් ලෙස දහදිය වගුරන ස්ත්‍රීන් සහ අවිධිමත් අංශයේ බහුතරය අධික වැඩ කොන්දෙසි, සුරාකෑම්, මාතෘ නිවාඩු/සෞඛ්ය රැකවරණ හිඩසිකම්, අතිකාල දීමනා වලින් තොරව සිය ශ්රමය වගුරයි. රැකවරණ කම්කරුවන් (care workers) – ළමා/වැඩිහිටි සත්කාරකරුවන් – සහ අවිධිමත් ආර්ථික කම්කරුවන් (ගෘහ/ප්‍රජා ආශ්‍රීත ) මූලික අයිතිවාසිකම්වලින් තොරව සූරාකෑමට ලක්වෙති; ඔවුන්ගේ සංවිධානගත නොවීම හේතුවෙන් වෘත්තීය සමිති මැදිහත්වීම් අඩුය. ILO C189 (ගෘහ සේවිකාවන් සඳහා සුනිසි වැඩ) මගින් සතිපතා 24 පැය විවේකය, සමාගමේ අයිතිය, සංක්‍රමණික ආරක්ෂාව සහතික කරන නමුත් ලංකාවේ තවමත්  මෙම සම්මුතිය අපරානුමත කර නොමැත. දැනට පවත්නා කම්කරු නීතියෙන්ද මෙම ශ්රමිකයන් බැහැර කර ඇත.

වෘත්තීය සමිතිවල පුරුෂවාදී ආධිපත්‍යය දශක ගණනාවක් තිස්සේ ස්ත්‍රී නියෝජනය/නායකත්වය අහුරා ඇති අතර ප්‍රධාන ධූරවලට පිවිසීමට ඇති සමාජීය/ ප්‍රජාතන්ත්රවාදී බාධක, ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාජ ව්‍යාපෘතිමය ප්‍රවේශයන් හේතුවෙන් ස්ත්‍රීන් තවමත් ද්විතීයික පුරවැසියන්  ලෙස සලකා කටයුතු කරයි.

ප්‍රතිපත්ති සැකසීම්/උද්ඝෝෂණ/වැඩමුළු අඛණ්ඩව සිදුවුවද  ප්‍රතිඵල ඉතා දුර්වලවන්නේ සැබෑවටම ඔවුන් ගැටලුව විසදීමට වඩා ව්‍යාපෘති අවශ්යතා පිළිබඳ සැලකිලිමත් බැවිනි. බොහෝ විට ස්ත්‍රීන් අනාරක්ෂිත රැකියාවන්හි නිරතවන්නේ විකල්ප නොමැතිකම සහ ආරක්ෂිත රැකියාවක් සදහා අවස්ථා නොමැති වීම හේතුවෙනි. මෙම තත්වයන් වෙනස් කිරීම  කම්කරු ස්ත්‍රීන්ගේ බහුතර ඡන්දයෙන් බලයට පත්වූ වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව අප අවධාරණය කරන අතර. පහත  ඉල්ලීම් 2026 කාන්තා දින සැමරුම ඉලක්ක කර අපි ඉල්ලා සිටිමු.

1.         ILO C189 අපරානුමත කිරීම සහ පාර්ලිමේන්තුව පණතක් හරහා රැකවරණ සේවකයන්හට නෛතික ආවරණයක් ලබා දීම.

2.         සමාජ ආරක්ෂණ නීති සැකසීම සහ ඒ වෙනුවෙන් ආයෝජනය කිරීම.

3.         විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා එතෙර සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත වැඩ පිලිවෙලක් සැකසීම,

4.         අවිධිමත් ක්ෂේත්රයෙ වැඩකරන කම්කරු කාන්තාවන් සඳහා වෘත්තීය සමිති ආරක්ෂාව, සංවිධානය සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇති බාධා ඉවත් කිරීම.

5.         වෘත්තීය සමිතිවල කාන්තා නායකත්වයට ඇති බාධක ඉවත් කිරීම; නියෝජනයේ අවස්ථා පුළුල් කිරීම සහ පිළිගැනීම.

කාන්තාවන් සඳහා ආයෝජනය කිරීමෙන් පවුල්, ප්‍රජා සංවිධාන සහ රටේ ආර්ථික හා සමාජ සමෘද්ධිය එකවිට වැඩි වීමෙන් “පොහොසත් රටක්, ලස්සන ජිවිතයක්” කාන්තාවන්ටත්  හිමිවනු ඇත. කෙටි සරල වාක්යයකින් පැවැසුවහොත් "ඔවුන්ට දෙන තරම්, ඔවුන් දෙන තරම් අපි සියලු දෙනාම ඉදිරියට යනවා” යනු මෙවර කාන්තා දින තේමාවේ “Give To Gain”යන අදහස එයින් යථාර්ථයක් වනු ඇත.

වැඩබිමේ වෙනසක් සදහා සංවිධාන ගත වෙමු. එක්ව සටන් කර අපේ අයිතීන් දිනා ගනිමු