විදුලි වර්ජනය දිග්ගැස්සෙයි: වැඩට නාවොත් දැඩි ක්‍රියාමාර්ග

විදුලි වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් 15,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.

විදුලි වෘත්තිය සමිති 24ක් එක්ව පෙරේදා පස්වරුවේ මෙම සංකේත වර්ජනය ආරම්භ කළේ විදුලි බල මණ්ඩලය ඈවර කිරීමත් සමග ඉතිරි වූ සේවකයින්ට පත්වීම් ලිපි හෝ ඔවුන් යොමු කරන ආයතනයක් සම්බන්ධයෙන් කිසිදු දැනුම් දී නොමැති බව පවසමිනි.

ඒ සම්බන්ධයෙන් අදාළ වෘත්තිය සමිති නියෝජිතයින් නව සමාගම් 4ක සභාපතිවරු ඇතුළු ප්‍රධානීන් සමග ඊයේ සාකච්ඡාවක නිරත වූ අතර, එම සාකච්ඡා අසාර්ථක වී ඇත.

‘‘වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කරන්න විශ්වාසයක් ඕනෑ‘‘

යෝජිත සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හෝ අමත්‍යංශ ලේකම්වරයා ලිඛිතව පොරොන්දුවක් ලබා දෙන්නේ නම් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග සේවකයයන් මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද කිසිදු අයුරකින් අඩු නොකළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකණයෙන් තීන්දු කර තිබියදී පවා විදුලියල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම් සේවක අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සූදානම් වන බව ද ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් සහ මෙම අවිධිමත් ප්‍රතිව්‍යාගතකරණ ක්‍රියාවලිය නිසා සමස්ථ විදුලිබල ක්ෂෙත්‍රයේම කඩා වැටීම වළක්වා ගැනීම සඳහා අප සංගම් දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් සහ සාකච්ඡා අසාර්ථක  වූ නිසා වෘත්තීය සමිති 25ක් එකතුව ඉකුත් 9 වැනි දා පස්වරු 3.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව ලේකම්වරයා කියා සිටියේය.

අනුප්‍රාප්තික නව සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හා අද පැවැති සාකච්ඡාවකදී නව සමාගම් හයෙන් හතරකම සභාපතිවරු වෘත්තීය සමිති 25ක් ඉදිරිපත් කළ යෝජිත ගිවිසුමේ වගන්තිවලට එහි සභාපතිවරුන් එකඟතාව පළ කළබවට ලිපියක් සමාජ ගත කර තිබේ.

එම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් එකඟවුව ද එහි නීත්‍යානුකූල වලංගුතාවය පිළිබඳව බරපතල ගැටළු පවතින බව ද ලේකම්වරයා පවසයි.

එහි සඳහන් අඩුපාඩු සම්පූර්ණ වනතරු එම ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි අපගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට වෘත්තීය සම්ගම් සූදානම් නැති බව ද ඔහු පවසති.

''වර්ජනයට ගිය විදුලි සේවකයින්ගේ ඉල්ලීම් දුන්නොත් විදුලි බිල 100%කින් ඉහළ දාන්න වෙනවා''

nusith

| NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග

මේ අතර NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග පවසන්නේ, වර්ජනයේ නිරතව සිටින විදුලි බල වෘත්තීය සමිති විසින් 40%ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම ඉටු කළහොත් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට සිදුවිය හැකි බවයි.

ලංවිම අනුප්‍රාප්තික සමාගම් කළමනාකාරීත්වය අද (11) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

විදුලි බල වෘත්තීය සම්ගම් කාරණ 64ක් සඳහා ඉල්ලීම් කළ බවත් ඉන් 62ක් සඳහා එකඟ වූ අතර එනෙක් කාරණා ද්විත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන් බවත් එහිදී ඔහු පැවසීය. අදාළ කාරණා 64න් බහුතරයක් විදුලිබල මණ්ලඩය සතු වරප්‍රසාද ඒ අයුරින්ම අවශ්‍ය බවට කළ ඉල්ලීම් වන අතර ඉන් 59ක්ම මුල් සාකච්ඡාවෙදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දීමට එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව සෙසු කාරණා 5ක් ඉතුරු වූ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බවට අදාළ වෘත්තීය සමිතිවලට දැනුම්දුන් බව ද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

එම වෘත්තීය සම්ගම්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවූ ආකාරයටම ප්‍රසාද දීමනාව ඉල්ලූ අතර කාර්ය සාධන ක්‍රමයක් හඳුන්වා දෙනතුරු ඒ සඳහා එකඟ වූ බවද මෙහිදී අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එමෙන්ම වැටුපට දීමනා වශයෙන් රුපියල් 11,000ක් සහ ඊට අමතරව ජීවන වියදම් දීමනාව එකතු කර සාමන්‍යයෙන් රුපියල් 17,000ක මුදලක් ලබා දීම සඳහා ද එකඟ වූ බව ඔහු සඳහන් කර සිටියේය.

''ඇමතිවරයාගේ මට්ටමෙන් එකඟ විය හැකි සියලු ඉල්ලීම් සඳහා එකඟවුනා'' 

ඇමතිවරයාගේ මට්ටමෙන් එකඟ විය හැකි සියලු ඉල්ලීම් සඳහා එකඟ වූ බවද නුසිත් කුමාරතුංග තව දුරටත් සදහන් කළේය.

40%ක වැටුප් වැඩිවීමක් ඉල්ලන අතරම ඔවුන්ට ලබා දෙන 11,000 දීමනාව මූලික වැටුපට ඇතුළත් කරන ලෙසද මොවුන් ඉල්ලීමක් කර ඇති අතර රටේ නීතියට අනුව ජීවන වියදම් දීමනාව මූලික වැටුපට ඇතුළත් නොකරන බවද අධ්‍යක්ෂකවරයා මෙහිදී පැවසීය.

එම පදනම පැහැදිලි කළ ද මොවුන් ඒ සඳහා ඇහුම්කන් නොදුන් බව ද ඔහු සඳහන් කළේය.

 NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග තව දුරටත් පැවසුවේ රජයක් ලෙස විදුලි බල මණ්ඩලයේ සේවකයින් 23,000 ගැන පමණක් සිතිය නොහැකි අතර එය රජයේ සේවයේ නියුතු අනෙක් සේවකයින්ට කරන අසාධාරණයක් වන බවය. එනම් 40%ක් යනු මාසකට ගතහොත් බිලියන 1.8 වැඩිවීමක් වන බවත් එය අවුරුද්දකට බිලියන 22ක් වන අතර 2025 දෙසැම්බර් 31 ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් බිලියන 35ක් වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

(the leader)