ලාංකේය කාන්තාව සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාවයි - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

ලාංකේය කාන්තාව සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාවයි - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

නූතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි ලාංකේය කාන්තාව සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාව බවද,  වත්මන් ආණ්ඩුවේ ගත වූ වසර එකහමාරක කාලය තුල රජය යම් වැඩ කොටසක් ඉටු කරගැනීමට හැකිවූ බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කර සිටියේය.

මහින්ද ජයසිංහ මහතා මේ බව සඳහන් කළේ කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් වාර්ෂිකව සංවිධාන කරන ජගත් කාන්තා දිනයට සමගාමීව කොළඹ කම්කරු අමාත්‍යංශයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවයට පසුගිය 11 වැනිදා සහභාගි වෙමිනි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජොනි සිම්සන් මෙනෙවියද විශේෂ ආරාධිත අමුත්තකු ලෙස මෙම සැමරුමට සහභාගි වීම විශේෂත්වයකි.

උත්සවයට එක්වෙමින් කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දුද අදහස් පළ කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මනුෂ්‍යත්වයට ගරු කරන සමාජයක් නිර්මාණය වී ඇත්නම් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කථා කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

මනුෂ්‍යත්වයෙන් පිරි රාජ්‍යක් ගොඩ නැගීමට යන ගමනේදී ආයතන හා පද්ධතීන් තුල කාන්තා අයිතිවාසිකම් හා සාධාරණත්වය වෙනුවෙන් නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමට සිදුවන බවද අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජොනි සිම්සන් මෙනෙවිය උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ උත්පාදක කෘතිම බුද්ධිය හේතුවෙන් ලොව රටවල් වලින් 88%ක පමණ කාන්තාවන් වැඩි වශයෙන් රැකියා අවදානමකට ලක් වී ඇති බවයි.

ලිපිකරු, පරිපාලන සහ සහායක භූමිකාවන් හි කාන්තාවන් වැඩි වශයෙන් නිරතව සිටීම ඊට ප්‍රධන හේතුව බවද ඇය පෙන්වා දුන්නාය.

කාන්තා දින සැමරුම් උතසවයට කම්කරු අමාත්‍යංශයේ ලෙකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුළු මහත්ම මහත්මින් රැසක් එක්ව සිටියහ.