ඩෙංගු - බරවා රෝග වැඩිවීමක් ගැන සෞඛ්‍ය බලධාරින්ගෙන් අනතුරු අඟවයි

ඩෙංගු - බරවා රෝග වැඩිවීමක් ගැන සෞඛ්‍ය බලධාරින්ගෙන් අනතුරු අඟවයි

ඩෙංගු, බරවා සහ මැලේරියා යන රෝගයන්හි වත්මන් තත්ත්වය සහ එම රෝග තත්ත්වය පාලනය සදහා ජනතාව විසින් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය හමුවක් (12) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කළ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර, බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අරූන් කුමාර්, සහ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්  යන මහත්ම මහත්මීන් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වන ලදි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ  ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය මාධ්‍ය හමුව ආරම්භ කරමින් මෙම වර්ෂයේ ඊයේ දින වන විට ඩෙංගු රෝගීන් 27754 ක් සහ මරණ 14ක් ද වාර්ථාවූ බවත් පැවසුවාය. බස්නාහිර පළාත තුළින් වැඩිම රෝගීන් වාර්ථාවන බව පෙන්වා දුන් ඇය වාර්ථාවන රෝගීන්ලෙන් 50%ක් එම පළාත තුළින් වාර්ථාවන බවද පැවසුවාය.

මේවන විට දිස්ත්‍රික්ක 25න්ම රෝගීන් වාර්ථාවන බවත්,  කොළඹ, ගම්පහ, මාතර,ගාල්ල,රත්නපුර, කලුතර සහ නුවර යන දිස්ත්‍රික්ක වලින් වැඩිවශයෙන් රෝගීන් වාර්ථාවන බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය මෙහි දී පෙන්වා දෙන ලදී.

මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමගම රෝගය වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව සදහන්කළ එතුමිය මහජනතාව ලෙස මදුරුවන් බෝවන ස්ථාන සොයාබලා ඉවත්කර ගැනීමෙන් මෙම තත්ත්වය පාලනය කරගත හැකිබවත්, තද උණ සමග ඇගපත වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය, ඇගේ රතු ලප හට ගැනීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂාවකට යොමුවියුතු බවත් ඇය පැවසුවාය.

පසුගිය වර්ෂය හා සසදන විට මෙම වර්ෂයේ දී ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක්  පෙන්නුම්කර ඇති බවත්, නිවෙස් වලට වඩා පාසල්,ආගමික ස්ථාන,වැඩ බිම් සහ රජයේ සහ පෞද්ගලික ආයතන වල වැඩි වශයෙන් මදුරුවන් බෝවීමේ වර්ධනයක් පෙන්නු කරන බවත් බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යතුමීය මෙහි දී අවධාරණය කර සිටියාය.

බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් බරවා රෝගය මදුරුවන් හරහා බෝවන රෝගී තත්ත්වයක් වුවත් 2016 වර්ෂයේ සිට මහජන පීඩාවක් සිදු නොවන අයුරින් රෝගය මෙරටින් තුරන්කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකයක් ලබා දී ඇති බවද පැවසීය.

එයින් මෙරට රෝගී තත්ත්වය නොමැතිබව අදහස් නොවන බවත්,එය ඉතා අවම මට්ටමක පවතින බවත්, රෝගය පිළිබදව සිදුකරන ආවේක්ෂණ ක්‍රියාවලිය මගින් කිසියම් රෝගීන් ප්‍රමාණයක් හදුනා ගන්නා බවත් පැවසීය.

ඩෙංගු, මැලේරියාව සේ මෙම රෝගය මෙරට සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්ථා නොවන බවත්, හම්බන්තොට, මාතර, ගාල්ල,කලුතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලින් රෝගීන් වාර්ථා වන බවත් පැවසීය.

රෝගය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග නිසා මේවන විට රෝගය පාලනය වී ඇති බවත්, 2025 වර්ෂයේ දී රෝගීන් 34 ක් මෙරටින් හදුනාගත් බවත්, මෙරටට පැමින  සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ගෙන් 34 දෙනෙක්   හදුනා ගත් බවත්, පසුගිය වර්ෂයේ දී හදුනාගත්  මුළු රෝගීන් ප්‍රමාණය 68ක් බවත්  බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා පැවසීය.

බරවා රෝගය ප්‍රතිකාර ලබාගෙන සුව කරගත හැකි රෝගී තත්ත්වයක් වන බවත්, අවට පරිසරය පිරිසිදුව තබාගැනිම, ජල මුලාශ්‍ර පිරිසිදුව තබා ගැනිම තුළින් වාහක මදුරුවන් පාලනය කළ හැකි බව ද ඒ මහතා මෙහි දී පෙන්වා දෙන ලදි.

මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අරූන් කුමාර් මහතා මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් 2016 වර්ෂයේ සිට මැලේරියාව ශ්‍රී ලංකාවෙන් තුරන් කළ වාහක රෝගයක් බවත්,මෙරටට පැමිණෙන පුද්ගලයන්ගෙන් නැවත රෝගය රට තුළට ඇතුල්වීමේ අවධානමක් ඇති බවත්  පැවසීය.

විදෙස් රටක සිට මෙරටට පැමිණෙන විට ඊට අදාළ පරීක්ෂණය සිදුකර ගන්නා මෙන්ද වෛද්‍යවරයා ඉල්ලීමක්ද කර සිටියේය.