සමස්ත ලංකා සෞඛ්‍ය කළමණාකරන නිලධාරීන්ගේ සංගමයේ පළමුවන වාර්ෂික මහ සමුළුව

සමස්ත ලංකා සෞඛ්‍ය කළමණාකරන නිලධාරීන්ගේ සංගමයේ පළමුවන වාර්ෂික මහ සමුළුව

සමහර අවස්ථාවන්හි දී යම් යම් වෘත්තීය සමිති ගන්නා වෘත්තීය ක්‍රියා මාර්ග දේශපාලන න්‍යාය පත්‍රයකට අනූව බවත්, වෘත්තීය ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කිරීමට හැකියාව ඇති නමුත්, පටු දේශපාලන අරමුණු උදෙසා අහිංසක මිනිස් ජීවිත සමග ගණුදෙනු කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ"වැඩ කරමු - රට හදමු, ගෞරවනීය රාජ්‍ය සේවාවක් ගොඩ නගමු" යන්න තේමා කරගනිමින් සමස්ත ලංකා සෞඛ්‍ය කළමණාකරන නිලධාරීන්ගේ සංගමයේ පළමුවන වාර්ෂික මහ සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය. උත්සවය (22) දින පෙරවරුවේ ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සැමටම දේශපාලන දැක්මක්, අභිලාෂයන් තිබිය හැකි නමුත් දේශපාලනය හා රාජකාරී ජිවිතය බද්ධකර ගත යුතු නැති බව ද  පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු අභියෝගයක් බවත්, පැවති ගැටළු නිරාකරණය කළ නමුත්  වරින්වර නව ගැටළු පැණ නගින බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු වරින්වර  වෙනස් වීම්වලට ලක්වන ක්ෂේත්‍රයක් බවත්  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන සැවොම  එම වෙනස්වන තත්ත්වයන්ට අනූව අදාළ අභියෝගයන්ට සහ ඒවා භාර ගැනීමට කටයුතු කළ යුතු බව ද පැවසීය.

සමස්ත ලංකා සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමය (All Ceylon Health Management Officers Union) සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධිත සංගමයක් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන සෞඛ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන් නියෝජනය කරන  වෘත්තීය සමිති සංවිධානයකි.

රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පරිපාලන කටයුතු ක්‍රමවත් කිරීම, කළමනාකරණ නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සහ සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෘත්තීය ගැටළු විසඳීම සඳහා සාකච්ඡා පැවැත්වීම, අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු සිදු කිරීම ඇතුළු කරුණු වෙනුවෙන් මෙම සංගමය පෙනී සිටි.