මාධ්‍ය නිදහස සීමා කිරීමේ උපාය මාර්ගික ප්‍රවේශයක් වන යෝජිත වරලත් මාධ්‍යවේදීන්ගේ ආයතනය පනත් කෙටුම්පත වහා හකුළා ගත යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

fmm

වරලත් මාධ්‍යවේදීන්ගේ ආයතනය ස්ථාපිත කිරීම සඳහා කෙටුම්පත් කර ඇති පනත අධ්‍යයනය කිරීමේදී ගැටලු ගණනාවක් දක්නට ලැබෙන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.

මෙකී පනත් කෙටුම්පත අධ්‍යනයේදී පෙනී යන කරුණක් වන්නේ මෙය හුදෙක් තවත් එක් රාජ්‍ය ආයතනයක් මිස මාධ්‍ය සමාජයේ සාමුහික මැදිහත්වීමකින් ස්ථාපිත කරන ස්වාධීන ව්‍යූහයක් නොවන බවය.

මාධ්‍යවේදීන්ගේ හා කර්මාන්තයේ වෘත්තීයමය බව තහවුර කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන නමුත් මෙවැනි ප්‍රවේශයක් ඔස්සේ පිහිටුවනු ලබන ආයතනයක් නිදහස් මාධ්‍යයට එල්ලවිය හැකි අනාගත අවදානමක තීරණාත්මක එළඹුමක් විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසය.

ජනමාධ්‍යකරණය  කුසලතා පාදකව සිදුවන ගවේශනාත්මක හා විචාරාත්මක ක්‍රියාවලියකි. එහෙයින්ම එය ශාස්ත්‍රීය දැනුම මත පමණක් රඳා නොපවතින්නකි. ඒ අනුව සැලකීමේදී මෙම පනත් කෙටුම්පතෙහි ජනමාධ්‍යවේදීයා අර්ථකතනය කිරීමේ මූලික එළඹුම පවා පැටලිලි සහගතය.

එසේම යෝජිත වරලත් ආයතනය ස්ථාපිත කිරීම සඳහා මූලික පියවර ලෙස පත්කෙරෙන අතුරු කමිටුව පවා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ  ඍජු මැදිහත් වීම මත පත්කරන ආකාරය පනතේ දක්නට හැකිය. එබැවින් වරලත් ආයතනය ස්ථාපිත වනු ඇත්තේ එකී දේශපාලන පසුබිමක් සහිත අතුරු කමිටුවේ රෙගුලාසි මත පදනම්වය.

ඒ අනුව පැහැදිළි වන්නේ මේ ආයතනයේ ප්‍රතිපත්ති, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පැවැත්මට අදාළ සියළු නිර්නායක. ආචාර ධර්ම , විනය කටයුතු, ආදී සියල්ල ආරම්භයේදීම සාදා තහවරු කරනේ එකී දේශපාලන උවමනා අනුව පත්කරන ලද ව්‍යුහයකින් වන බවය. එකී ව්‍යුහය මගින් සාදා තහවුරු කරන ප්‍රතිපත්ති, රීති හා ක්‍රමවේද ආයතනයේ අනාගත පැවැත්මෙහි පදනම වනු ඇත. මෙම තත්වය අතිශයින්ම බරපතළය.

ගැසට් පත්‍රයේ 09 වන පිටුවේ පත්වන සභාවේ ගණපූරණයට සභාපතිවරයා ඇතුළු 05 දෙනෙක් සිටීම ප්‍රමාණවත් බව කියවේ . ඒ අනුව සාමාජිකයන් 03 දෙනෙකු ට ලංකාවේ මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන ගැන තීන්දු ගත හැකිය. එය ද අතිශය බරපතල තත්වයකි.

තවද ඔන්ලයින් මාධ්‍යය වඩා ප්‍රචලිත වෙමින්  පවතින වකවානුවක මෙම පනත් කෙටුම්පත සම්මත වීම තුළින් අනාගත පුරවැසි මාධ්‍යකරණයෙහි භූමිකාව හා එහි ඉරණමද බරපතල අපැහැදිලි තත්ත්වයක පවතී.

වඩාත් සැළකිල්ලෙන් යුක්තව අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ මෙම ආයතනය ස්ථාපිත වූ පසුව එමගින් අර්ථ නිරූපණය කරන කරුණු මත පදනම්ව මෙරට මාධ්‍ය නිදහසට හා මාධ්‍යකරණයට අදාළව තීන්දු ගැනීමට රාජ්‍ය බලධාරීන්ට යොමු විය හැකිද යන්නයි. නිදසුනක් ලෙස වෘත්තීය මාධ්‍යවේදියා යනු කවරෙක්දැයි අර්ථ නිරූපණය කිරීමක් අවශ්‍ය වූ විට එය සිදුවන්නේ රාජ්‍ය අධිකාරියකින් ලබා දෙන අර්ථ නිරූපණය හෝ මග පෙන්වීම මත නම් එවැනි තත්වයක් මාධ්‍යකරණය හා මාධ්‍ය නිදහස පිළිබඳ අතිශය බරපතල ගැටළු මතු කළ හැකිය.

මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය කර්මාන්තයේ යහපත සඳහා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක අවශ්‍යතාවය අප පිළිගන්නා අතරම  ඒ වෙනුවෙන් අප පෙනී  නමුත් යෝජිත පනත් කෙටුම්පත මගින් බලාත්මක කරන්නට අපේක්ෂා කරන ආයතන ව්‍යුහය මගින් ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය සංස්කෘතියට එල්ල විය හැකි මාරාන්තික තර්ජනය හේතුවෙන් අප එවැන්නකට එකග නොවන බව රට හමුවේ ප්‍රකාශ කල යුතුය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුවිය යුත්තේ මාධ්‍ය සමාජය තුළ ඇතිකරගන්නා මූලික එකගතාවයකින් අනතුරුව සිවිල් සමාජය තුළ සිදුකරන පුළුල් සංවාදයකින් පසු බහුපාර්ශවීය අනුමතයකින් බව අපගේ විශ්වාසය වන අතර බලයට පත්වන කුමන හෝ ආණ්ඩුවක තනි මතයට අනුව එය සිදු නොවිය යුතු බව අප තරයේ ප්‍රකාශ කරන්නෙමු. එවන්  මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට පදනම් විය යුත්තේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය බවත් ඒ අනුව සියල්ලට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය රට හමුවේ තබන ලෙසත් අප අවධාරණය කරන්නෙමු

එමනිසා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉතාමත් අවධාරණයෙන් යුතුව  රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම පනත් කෙටුම්පත හකුළා ගන්නා ලෙසයි. මාධ්‍ය කර්මාන්තයේ වෘත්තීයමය බව ස්ථාපිත කිරීම හා උන්නතිය උදෙසා කළ යුතු වන්නේ කර්මාන්තයෙහි නිරත සියලු පාර්ශව හා පුළුල් සාකච්ඡාවකින් අනතුරුව  උචිත ප්‍රවේශයක් වෙත අවතීර්ණ වීම බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරනු කැමැත්තෙමු.