සුව සැරියට දස වසරයි

suwaseriya-10-years-2026

දස වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් (31) දින කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ඉන්දියානු රජය හා ජනතාවගේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් 2016 ජූලි 28 වැනි දින ගිලන් රථ 88කින් ආරම්භ වූ 1990 සුව සැරිය ගිලන් රථ සේවය, නොමිලේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිචාර සේවාවක් ලෙස මෙරට සෞඛ්‍ය සේවාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කළේය. අද වන විට ගිලන් රථ 319කින් සමන්විත ජාතික හදිසි ප්‍රතිචාර සේවාවක් ලෙස එය දිවයින පුරා ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබේ.

පසුගිය දස වසර තුළ 1990 සුව සැරිය කාර්ය මණ්ඩලය මිලියන 10කට අධික හදිසි දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින්, මිලියන 2.6කට අධික හදිසි අවස්ථාවන්හිදී රෝගීන් වෙත කඩිනම් ජීවිතාරක්ෂක සේවාව ලබාදී ඇත. පැය 24 පුරා, සතියේ දින හතම, වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම සේවාව, හදිසි ප්‍රතිකාර අවශ්‍ය ජනතාවට බලාපොරොත්තුවේ පළමු නැවතුම බවට පත්ව ඇත.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන සෑම පුද්ගලයෙකුටම තවත් මිනිසෙකුගේ ජීවිතයක් සුරක්ෂිත කිරීමේ අවස්ථාව හිමිවන නමුත්, 1990 සුවසැරිය කණ්ඩායමට එම අවස්ථාව හිමිවන්නේ ජීවිතයක් අවදානමකට ලක්ව ඇති අතිශය තීරණාත්මක මොහොතකදී කඩිනමින් මැදිහත්ව එම ජීවිතය බේරා ගැනීමේ වගකීමක් සමඟ බව පැවසීය.

මෙම අවස්ථාවට 2016 වසරේදී මෙම සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කැපවී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, 1990 සුවසැරිය පදනමේ සභාපති විශ්‍රාමික මේජර් නිරෝෂන් රත්නායක, යන මහත්වරුන් ඇතුළුව සුවසැරිය පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, සේවයේ නියුතු හදිසි වෛද්‍ය තාක්ෂණික නිලධාරින්, ගිලන්රථ නියමුවන්, හදිසි ප්‍රතිචාර නිලධාරින් ඇතුළු 1990  සුව සැරිය පදනමේ සියළු කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image