අධ්‍යාපන වෘත්තීක සභාව ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය පිළිබඳ විශේෂ අවධානය

education-council-2026

යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුව එහි සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් ස්ථාපිත කිරීමට යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු විය.

එහිදී අනාවරණ වූයේ අදාළ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රමාදයක් පවතින බවයි.

යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා 2026 අගෝස්තු 17 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට ද තීරණය කර ඇත.

කෙසේ වෙතත්, එතැන් සිට මාස දෙකකට අධික කාලයක් ගත වී තිබුණද, අදාළ යෝජනාව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර නොමැති බව අනුකමිටු රැස්වීමේදී අනාවරණය වූ බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව යෝජනා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදු කෙරෙන නමුත්, අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළව එම ක්‍රියාවලියේ ප්‍රමාදයක් පවතින බව එහිදී සාකච්ඡා වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ යෝජනාව පසුදින (20) නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

මීට පෙර පැවැති සාකච්ඡාවලදී ද අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමාදයක් පවතින බවට කරුණු ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව, අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීමේ සමස්ත ක්‍රියාවලිය මාස 08කින් පමණ ප්‍රමාද වී ඇති බව මෙවර අනුකමිටු රැස්වීමේදී අනාවරණ වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, අදාළ වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කරන බවයි.

වත්මන් රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වන අතර, අධ්‍යාපන සභාවක් ස්ථාපිත කිරීම එම ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.

ගුරු සේවය, විදුහල්පති සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීන් සඳහා පොදු වෘත්තීය ප්‍රමිතීන් හා ආචාරධර්ම පද්ධති හඳුන්වා දීම, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සුදුසුකම් නියාමනය කිරීම, ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් සැපයීම සහ ඔවුන්ගේ ලියාපදිංචිය හා වෘත්තීය පිළිගැනීම විධිමත් කිරීම යෝජිත අධ්‍යාපන සභාවේ ප්‍රධාන අරමුණු අතර වේ.

එමෙන්ම, අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ වගකීම් සම්බන්ධයෙන් පැහැදිලි රාමුවක් ඇති කිරීම සඳහා නීතිමය බලතල සහිත ආයතනයක් ස්ථාපිත කිරීම ද මෙම යෝජනාවේ වැදගත් අරමුණකි.

යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුවේ මෙවර රැස්වීමට එහි සාමාජිකයින් වන  රුවන් මාපලගම , වී. රාධාක්‍රිෂ්ණන්  ආදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image